කලා සාහිත්‍යාදිය මැනැවින් වර්ධනය වන්නේ ජන සමාජය සමෘද්ධිමත්ව පවත්නා කල්හිදී යෑයි කියනු ලැබේ. සමෘද්ධිය කෙසේ වතුදු යටත් පිරිසෙයින් යම් පමණකට හෝ සැකෙන් බියෙන් තොර වැ දිවි ගෙවිය හැකි සමයක් උදා වැ ඇති හෙයින් සාහිත්‍යාදී කලා කෙරෙහි නැවත අවධානය යොමු කිරීම නුසුදුසු නොවන්නේ ය. මෙ බඳු විටෙක දී ගුණදාස අමරසේකර කවියාගේ කාව්‍ය ග්‍රන්ථ සියල්ල එක්‌වර පළ වීම කාව්‍ය රසිකයන්ගේ අමන්දානන්දයට හේතු වනු ඇත.
භාවගීත, උයනක හිඳ ලියූ කවි, අමල් බිසෝ, ගුරුළුවත, ආවර්ජනා, අසත්දා කව යන මේ කාව්‍ය ග්‍රන්ථ සය නැවත පළ වී ඇත්තේ 2008 නොවැම්බර් සිට 2009 නොවැම්ර් තෙක් යෙදී ඇති අමරසේකර ප්‍රත්‍යාවලෝකන වසර වෙනුවෙනි. මෙය විශේෂයෙන් සැලකිල්ලට ලක් විය යුතු කරුණෙකි. ප්‍රත්‍යාවලෝකනය නමින් ගැනෙනුයේ (යමක් දෙස) නැවත බැලීමයි. එසේ බලා එය ඇගැයීමට ලක් කිරීමයි. ගුණදාස අමරසේකර ඔහු විසින් සිංහල සාහිත්‍යය උදෙසා සිදු කරන ලද සේවාව ප්‍රත්‍යවලෝකනය කිරීමේදී මූලිකවම විමැසිය යුත්තේ ඔහුගේ කාව්‍යාවලියයි. කෙටිකතාකරුවකු, නවකතාකරුවකු, විචාරකයකු ආදී වශයෙන් සාහිත්‍ය ක්‍ෂේත්‍ර ගණනාවෙක අමරසේකර රඟ දක්‌වා ඇත්තේ සංකීර්ණ භූමිකාවක් ද ඔහුගේ සුවිශිෂ්ට නිර්මාණ ශක්‌තිය විශද වන්නේ කාව්‍ය ක්‍ෂේත්‍රයේදී බව නොවළහා දැක්‌විය යුතු කරුණෙකි. වෙනත් වදනෙකින් කිවහොත් ගුණදාස අමරසේකර උපන් කවියෙකි. අනෙක් සියලු ක්‍ෂේත්‍රවල ඔහු දක්‌වන මහත් දක්‍ෂතාවට පදනම වන්නේ මේ සහජ කවීත්වය බව අපට හැඟේ. එහෙයින් ඔහුගේ දීර්ඝ කාලීන, සාහිත්‍ය සේවාව නිසි ලෙස ඇගයීම සඳහා (අනෙක් නිර්මාණ ග්‍රන්ථ කෙසේ වුවද) මේ කවි පොත් පළවීම අත්‍යවශ්‍යම කාරණයෙකි.
මේ කවි පොත් නැවත පළවීම තවද හේතුවක් නිසා ඉතා වැදගත් වෙයි. ඒ නම් අමරසේකර විසින් වෙනත් කිසිවකු නොකළ අභිෂ්ඨ සම්ප්‍රදාන තුනක් සිංහල කාව්‍ය විෂයයෙහි සිදු කරනු ලැබ තිබීම යි.
ඉන් පළමුවැන්න ලෙස අප හඟින්නේ සිංහල කවි බස සකස් කිරීම උදෙසා ඔහු කළ සාර්ථක අත්හදා බැලීමයි.
කවියෙක ඉතාම වැදගත් අංගය වන්නේ අර්ථය බව අපි දකිමු. අර්ථය කොතරම් ප්‍රබල වුවද එය රසිකයා ඉදිරියට ගෙන යන කවි බස දුර්වල එකක් වුවහොත් ඒ කවිය සාර්ථක නොවේ. මේ කරුණ බොහෝ කල් මුළුල්ලේ සිංහල කවිය ඇසුරින් අත්දකින ලද්දකි. විසිවන සියවසේ මුල් අඩෙහි පහළ වූ ප්‍රතිභා සම්පන්න කවීන් බොහෝ දෙනකු මුහුණ දුන් බොහෝ දෙනෙකුට විසඳා ගත නොහැකි වූ ගැටලුව මෙයයි. ඉතා තුරුණු වියෙහිදී ම මේ ගැටලුව විස¹ගත හැකි වීම, මනා කවි බසක් තනා ගැන්මට හැකි වීම, අමරසේකර කවියා ලද සුවිශාල ජයග්‍රහණයක් විය. නූතන සිංහල කවියෙහි ද සුවිශාල ජයග්‍රහණයක් විය යුතු වූ මෙය, අභාග්‍යයකට මෙන් දියයුතු තරම් පල නොදුන් තැනක් විය. ඔහුගේ සමකාලීනයන්ගේ ද පශ්චාත් කාලීනයන්ගේ ද කාව්‍ය විමසා බලන්නෙකුට මේ බව මැනැවින් පෙනී යනු ඇත.
සිංහල කවියට උචිත වන්නේ කුමාරතුංගයන් "පිය සමරේ" දී යොදාගත් බස් වහර බව බොහෝ තන්හි පවසා ඇති අමරසේකර තමා "භාවගීත" (1955) ලියන විට ඒ පිළිබඳව වැටහීමක් නොවූ බව ද "භාවගීත" අවිඥානක වැ සිංහල කාව්‍ය සම්ප්‍රදායට පිවිසීමේ ප්‍රතිඵලයක් බව ද දක්‌වයි. සැබැවින් ම "භාව ගීතයෙහි" ලා ඔහු විසින් පරිභාවිත කාව්‍ය භාෂාව සිංහල කාව්‍යයට ඉතා ම උචිත වෙයි. වනි ගුණයෙන් අනූන වූ ද, ව්‍යංජනා ශක්‌තියෙන් පරිපෝෂිත වූ ද, රසිකයන් තුළ භාවෝද්දීපනයෙහි සමත් සජීව භාෂාවෙකි යෙදී ඇත්තේ. අවිඥානක වැ එවැනි බස් වහරක් තනාගත හැක්‌කේ අත්‍යන්ත ප්‍රතිභා ශක්‌තියෙන් අනූන වූවකුට පමණි. ගුණදාස අමරසේකර උපන් කවියකු බව මුලදී කියන ලද්දේ එහෙයිනි. මෙහිදී වැදගත් කරුණක් නම් තමා සිංහල කාව්‍ය සම්ප්‍රදායය පිළිබඳව සවිඥානක ව ලියූ කාව්‍ය ලෙස අමරසේකරම දක්‌වන "ගුරුළු වත" "අමල් බිසො" යන දෙකෙහි බස් වහර පවා මූලික ව ම "භාව ගීතයෙහි" බස් බහරින් නොවෙනස් වූ බවයි. වෙනසක් ව ඇත්තේ "ගුරුළු වතෙහි" දී සම්භාව්‍ය කාව්‍ය භාෂාව කෙරෙහි වඩා නැඹුරු වීමත්, "අමල් බිසොවෙහි දී ජන කවි බස් වහරට වඩා නැඹුරු වීමත් ය. එය ඔහුගේ සාර්ථක අත්හදා බැලීමෙකි.
සිංහල කවියට සුදුසු බසක් තනා ගැන්මේ දී සම්භාව්‍ය කාව්‍ය භාෂාවෙන් මෙන් ම ජන කවි වහරින් ද ආභාසය ලද යුතු බව අමරසේකර බොහෝ තැන්හි දී පෙන්වා දී ඇත. එබඳු නිරීක්‍ෂණයකට පැමිණිය හැකි වීම අපගේ සම්ප්‍රදාය පිරිසිඳ දත් ප්‍රඥ සම්පන්නයකුට පමණක් කළ හැක්‌කෙකි. ඔහු එබන්දකු වූ බව ඒ නිරීක්‍ෂණය ප්‍රායෝගිකව ඉටු කැරලීමෙන් මතු නො ව සිංහල කාව්‍ය ක්‍ෂේත්‍රයට ඔහු විසින් කරන ලද දෙ වන විශිෂ්ට සම්ප්‍රදානයෙන් ද පැහැදිලි වේ.
එය නම් සිංහල කවිය සඳහා නව විරිත් වෙසෙසක් හඳුන්වාදීමයි. සැබැවින් ම මෙය පස්‌මත් විරිත, සැහැලි, යාදිනි ආදියෙහි ද අස්‌න කව්වල ද යෙදුණක් වන නමුදු මෙය නූතන අත්දැකීම් පැවැසීමට සුදුසු ලෙස අද්‍යතන කාව්‍ය ක්‍ෂේත්‍රයට හඳුන්වා දෙන ලද්දේ අමරසේකර කවියා විසිනි. මෙය දැන් ප්‍රධාන කාව්‍යා කෘතියක් බවට පත් වැ ඇත. දසඅට මත් විරිත එපා වී සිටි කවීනට මේ විරිත ඉඩෝරයට වට වැස්‌සක් මෙන් වන්නට ඇති බව ඔවුන් වහා එය ඇදැවැලැඳ ගැන්මෙන් පෙනේ.
දස අට මත් විරිතට ආදේශකයක් ලෙස ගිය සියවසේ සිවුවන දශකයේදී කුමාරතුංගයන් ප්‍රමුඛ හෙළ හවුල් කිවියන් විසින් ගී විරිත හඳුන්වා දෙනු ලැබිණ. ඔවුහු කාව්‍යකරණයෙහිලා එය ප්‍රායෝගිකවද බෙහෙවින් යොදාගත්හ. එහෙත් ඉන් ඔබට ඒ විරිත පැතිරීගිය බව නොපෙනේ. දේශජ කාව්‍ය කෘතියන් ලෙස බොහෝ වියතුන් හඳුන්වන, එළි සමයෙනුදු තොර, අතිමධුර ශබ්ද රසයක් නොනඟන මේ ගී විරිත, එබඳු විරිතත් අපේක්‌ෂා කළ නූතන කවීන් විසින් එතරම් දුරට නොපිළිගැනුණේ කවර හෙයින්ද යනු විමැසිය යුතු කරුණෙකි.
එයට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ ඒ හා බැඳුණු බස් වහරයි. හෙළ හවුලේ කිවියන් විසින් යොදාගැනුණු වියත්, නොකිලිටි ඔවදන් බස් වහර සාමාන්‍ය කවීනට දුරවබෝධ වූ සේය. එ නිසාම, එබඳු කවි බසක් හා බැඳුණු ගී විරිතද ඔවුන්ගෙන් ඈත් වන්නට ඇත. එමතුද නොව අසම මාත්‍රික පාද සහිත, ඉබේ ගලා නොඑන්නත් නොවන ගී විරිත අනුයැම ඔවුනට ආයාසකර වන්නටද ඇත. කාව්‍ය භාෂාව හා ආකෘතිය හා අතර ඇති අවියෝජනීය සම්බන්ධය මෙයින් ගම්‍යමාන වේ. අමරසේකර කවියා විසින් සොයා පාදාගැනුණු විරිත හා ඔහු තනාගත් කවි බස ද එකට එක් කොට කළ කාව්‍ය රසපූර්ණ නිර්මාණ වීමටත් ඒ විරිතම යොදාගෙන, සිංහල කවියට නොගැලපෙන කෘත්‍රිම භාෂා ව්‍යවහාරයෙකින් ("නිසඳස්" යෑයි සිතාගෙන) ලියූ බොහෝ කව් රසසුන් නිමැවුම් වීමටත් හේතුව එම අවියෝජනීය සම්බන්ධය බිඳීයැම විය යුතුය.
මේ පස්‌මත් විරිත අද්‍යතන කාව්‍ය ක්‌ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ කැරවීමෙන් ද (යට කී සේ) ප්‍රකට වනුයේ අමරසේකර කවියා සතුව අපගේ කාව්‍ය සම්ප්‍රදායය පිළිබඳව ඇති අවබෝධයයි. සැබැවින්ම සම්ප්‍රදායය නිසි ලෙස නොහසළ කිසිවකු කිසිදිනෙක හොඳ කවියකු වෙතියි සිතිය නොහැකිය. පුරාතන සංස්‌කෘත ආලංකාරිකයෝ මේ බව මැනැවින් දත්හ. "කාව්‍යදර්ශයෙනි" දී දණ්‌ඩින් පැවැසූ සුපතළ කියමන වන
නෛසර්ගිකී ච ප්‍රතිභා
ශ්‍රැතං ච බහු නිර්මලං
අමන්දශ්චාභියෝගශ් ච
කාරණං කාව්‍ය සම්පදා
යන්නෙන් ද එ බව පෙනේ. මෙය සිංහලයට පෙරළන සියබස්‌ලකරු නිසග සිදු පිළිවෙත් - උගත් ගත් විමල්නේ
නොමඳ බියොවුදු හේ වේ - වෙසෙසින් මෙ කවි සපුවට යනු පවසයි. මෙහි "උගත් ගත් විමල් නේ" (නොයෙක් නිර්මල ග්‍රන්ථ ඉගෙනගත්) යෑයි දැක්‌වෙන නමුදු දණ්‌ඩින්ගේ "ශ්‍රැතං ච බහු නිර්මලං" යන්නෙහි අරුත එය ඉක්‌මවා යති යි සිතිය හැකිය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති යන අරුත එයින් ලැබේ. එනම් නිසැකවම සම්පාදනය පිළිබඳ අවබෝධයයි. කවියකු වීමට ඇවැසි කරුණු තුනින් එකක් ලෙස එය දැක්‌වීමෙන් ආලංකාරිකයන් එහි වැදැගත්කම කොතරම් ඉහළින් සැලැකුවා ද යනු පෙනේ. කවියකු වශයෙන් අමරසේකර ලැබූ අතිමහත් සාර්ථකත්වයට පිටුබල වැ ඇති සාධක අතුරින් මෙද ප්‍රධාන වූවෙකි.
ගුණදාස අමරසේකර විසින් සිංහල කාව්‍ය ක්‌ෂේත්‍රයට කරන ලද අනෙක් විශිෂ්ට සම්ප්‍රදානය නම් සිංහල කාව්‍ය සම්ප්‍රදායය අරබයා කරන ලද අනර්ඝ විචාරයයි. මාර්ටින් වික්‍රමසිංහ ආදීන් විසින් සිංහල කාව්‍යය අරබයා සාධනීය විචාර වරින් වර කරනු ලැබ ඇති නමුදු අමරසේකර "සිංහල කාව්‍ය සම්ප්‍රදාය" කෘතියෙන් කැර ඇත්තා සේ සම්පූර්ණ, සූක්‌ෂ්ම විචාරයක් ඉන් පෙර කරනු ලැබ නොතිබිණි. යට කියන ලද සේ, සම්ප්‍රදායය පිළිබඳ අවබෝධය කවියකුට අත්‍යවශ්‍ය වන බැවින් අංකුර කවීනට සිංහල කාව්‍ය සම්ප්‍රදායය හඳුනාගැන්මට එමගින් ලැබෙන්නේ සුවිශේෂ අවස්‌ථාවකි. එය කවියේ ප්‍රගමනය උදෙසා අත්‍යර්ථයෙන්ම දායක වේ. අමරසේකර "සිංහල කාව්‍ය සම්ප්‍රදායෙහි" ලා දක්‌වන ඇතැම් අදහස් තවද දුරට විචාරයට ලක් කළ යුතුව තිබෙන නමුදු සිංහල කවිය හදාරන්නන් හට එය සුවිසල් පහන් ටැඹක් බව නොවළහා කිය යුතුය.
ගුණදාස අමරසේකරගේ සමස්‌ත කාව්‍යාවලිය විමසා බැලීමේදී පෙනෙන කරුණක් නම් මේ හැම කවකම පාහේ ඉතා සියුම් හුයෙකින් එකට බැඳී ඇති බවයි. එනම්, මේ කාම ලෝකයෙන්ම මතු වී එය දෙස හෙළන සදය උපහාසාත්මක බැල්මයි. ඔහුගේ වෙනත් සාහිත්‍ය නිර්මාණවලින්ද ප්‍රතීයමාන වන මෙය ඔහු විසින්ම "පියුම් වත" නමින් හඳුන්වනු ලබන තත්ත්වය හා බැඳුණක් ලෙස සැලකිය හැකියි. අමරසේකර විසින්ම පසු කලෙකදී ප්‍රතික්‌ෂේප කරන ලද "උයනක හිඳ ලියූ කවි" කෘතියෙහි එන "දිය සිඳුණු මරු කතර" වැනි කවි පෙළෙකින් පවා ඉතා සියුම් උත්ප්‍රාසයෙකින් යුතුව මතු වන්නේ මෙයයි. "ගුරුළු වත" "අමල් බිසො" වැනි දීර්ඝ කාව්‍ය ආධ්‍යාතවලින් ද පිළිබිඹු වන්නේ මෙය ම බව සියුම් ව විමසා බලන්නකුට පෙනී යනු ඇත.
සවිඥනකව හෝ අවිඥනත ව හෝ මෙබන්දක් මතු වීමට හේතුව කුමක්‌ද? එය අමරසේකර හා තදින් බැඳී ඇති සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් පැන නඟින්නක් බව පෙනේ. ඔහුගේ මුල් ඇත්තේ මෙ රටේ (සිංහල බෞද්ධ) සංස්‌කෘතියෙන්ය. එහෙයින් එහි ආභාසය ඔහුගේ නිර්මාණ මත පතිත වීම වැළැක්‌විය නොහැකිය. මෙය අමරසේකරට මතු නොව කවර කවියකුට සාහිත්‍ය නිර්මාණකාරයකුට වුවද බලපාන්නෙකි. විචාරකයන් විසින් සූක්‌ෂම අධ්‍යයනයක් මගින් මේ තතුව මතු කොට විදහා දැක්‌විය යුතුය. ගුණදාස අමරසේකර කවියාගේ කාව්‍ය ග්‍රන්ථ සියල්ල නැවැත පළ වීම ඒ සඳහා හොඳම අවස්‌ථාවක් පාදා දෙයි.
ශ්‍රීනාත් ගණේවත්ත