රංජිත් ඇල්. අබේවික්‍රමට පිළිතුරක්
ශ්‍රීනාත් ගණේවත්ත මහතා "සම්ප්‍රදාය සොයා ගිය කවියා" යන මැයෙන් ලියූ විචාරය රංජිත් ඇල්. අබේවික්‍රම මහතා විසින් ප්‍රතිවිචාරයට ලක් කර තිබිණි. ඒ පිළිබඳ අපේ අදහස් කළ කිරීම මේ ලිපියේ අරමුණයි.
නූතන සිංහල කවියේ පරිහානිය පිළිබඳ අබේවික්‍රම මහතා මහත් කම්පනයට පත් ව ඇති බව ඔහුගේ ලිපියේ මුල් දෙවැකියෙන් ම පැහැදිලි වේ. එහෙත් ඉන් ඔබ්බට කියවන කල පැහැදිළි වන්නේ සිංහල කවිය පිළිබඳ ඔහුගේ අනවබෝධයයි. සිංහල කවියේ පරිහානියට බලපෑ හේතු සාධක ලෙස අබේවික්‍රම මහතා ගෙන හැරපාන කරුණු කිසිදු පදනමක් නොමැති මනස්‌ගාත බව නොකියා ම බැරි ය. ඒ වූ කලී වැරදි රෝග විනිශ්චයකි. පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකි.
සිංහල කවියා විෂයෙහි අමරසේකර සම්ප්‍රදානය නොතකා හළ හැක්‌කේ එවන් අනවබෝධයක කරවටක් ගිලී සිටින අබේවික්‍රම මහතා වැනි අයකුට පමණි. කිසියම් පුද්ගලික කෝන්තරයක් පිරිමැසීමේ අදහසින් ලියන ලදැයි අනුමාන කළ හැකි එකී ලිපිය හැඳින්විය හැක්‌කේ ප්‍රතිගාමී විචාරයක් ලෙසය. සිංහල කවියේ පරිහානියට මෙවන් විචාරකයන් ද වගකිව යුතු බව කනගාටුවෙන් වුවද පවසන්නට සිදුවෙයි.
ගුණදාස අමරසේකර සූරීන් සිංහල කවියේ ප්‍රගමනය පිණිස ඉටු කළ කාර්යභාරය සුවිශාලය. හෙතෙම භාවගීත, අමල් බිසෝ, ගුරුළුවත, ආවර්ජනා වැනි කාව්‍ය කෘති ඔස්‌සේ සනාතන අගයකින් යුත් නිර්මාණ සමුදායක් සිංහල සාහිත්‍යයට උරුම කර දුන්නේය. නගරයේ පෑවූ දේදුන්න, අඳුර අපේ දුක නිවාවී, අඳුර සහ බිය, වැස්‌ස, උඳුවප් ඇවිල්ලා, වක්‌කඩ බඳිමු වැනි නිර්මාණ යසෝදරාවතෙහි, සැලළිහිණියෙහි කවියක් මෙන් කටපාඩමින් දත්තෝ අප අතර වෙති.
ඒ සුවිශිෂ්ට සම්ප්‍රදානයට අමතරව කවිය ඉතාමත් නිරවද්‍ය ලෙස අර්ථකථනය කිරීමේ ගෞරවය ද අමරසේකරයන්ට හිමි විය යුතු ය. කවියේ අර්ථය, එහි සංකල්පනාව මත පමණක් නොව කවි බස සහ ආකෘතිය මත ද රැඳේ යන ඉතා ම නූතනවාදී විග්‍රහය සිංහල කාව්‍ය විචාර ඔස්‌සේ ඉදිරිපත් කරන ලද්දේ අමරසේකර විසිනි. (එරික් ඉලයප්ආරච්චි විචාර පත්‍රිකා 9 පිටුව) කවිය කනප්පුවක් නම් එය ර¹ සිටින පාද තුන වන්නේ කවි සංකල්පනාව, ආකෘතිය සහ භාෂාවයි. කනප්පුව බිම නොපෙරළී තිබෙන්නට පාද තුනේ ගැළපීම අවැසි වන්නේ යම් සේ ද කවියේ රස ජනනයට පෙර කී අංග තුනේ ගැළපීම අත්‍යවශ්‍ය වෙයි. සමස්‌තයක් ලෙස ගත් කල කොළඹ කවීන්ට ද සියලු නිසස් කවීන්ට ද මේ අවබෝධය නොතිබිණි. කොළඹ තරුණ කවීහු හුදු ශබ්ද රසය කාව්‍ය රසය ලෙස ගත් අතර නිසස් කවීහු හුදු අර්ථ රසය කාව්‍ය රසය (විවිධ ගූඪ මතවාද දාර්ශනික සංකල්ප කියවීමෙන් අප ලබන්නේ රසයක් ද යන්න වෙනම විග්‍රහ කළ යුතුය) ලෙස ගත්හ.
ජී. බී. සේනානායක සහ සිරි ගුණසිංහ මෙරටට බෝ කළ නිසස අසාර්ථක කාව්‍ය ක්‍රමයක් බව හැඳින ඊට එරෙහිව මුලින් ම නැඟී සිටියේ අමරසේකර ය. ශබ්ද වනියෙන් විනිර්මුක්‌ත නිසස ඔහු හැඳින්වූයේ අංශභාග කවියන් ලෙසය. නිසස සමාජයේ ව්‍යාප්ත වෙමින් පැවති එදවස "නිසස සිංහල කවි කෙතෙහි පහළ වූ වල් පැළෑටියකි" යනුවෙන් හෙතෙම සඟරාවකට ලිපියක් ද ලියුවේය. 1966 ප්‍රකාශයට පත් වූ" අලියා සහ අන්ධයෝ" කෘතියේ නිසස නම් ලිපියේ අමරසේකර මෙසේ කියයි. " ම විසින් ලියන ලද ප්‍රථම කාව්‍ය සංග්‍රහය "භාවගීත" වෙයි. එයත්, ඉන් පසු මා ලියූ සෙසු කාව්‍ය සංග්‍රහත් නිසස් නිදහස් පද්‍ය මෙන් අඳුන්වන ලද්දේ කවුරුන් විසින් දැයි මම නොදනිමි" (196 පිටුව)
තවද භාවගීත පෙරවදනෙහි අමරසේකර පවසන්නේ මෙහිදී තමන් පැරණි කාව්‍ය රීති නොතකා හැරියද ඒ සියලු කාව්‍යවලට පොදු තාලයක් ඇති බවත් කවි රස විඳීමට එය මහත් සේ උපකාරී වන බවත් ය. එහෙත් ලෙහෙසි පහසු හාන්සි පුටු විචාරයේ යෙදෙන විචාරකයන් කළේ අමසේකරයන් ද නිදහස් නිසඳැස් කවියකු ලෙස හංවඩු ගැසීමය. ඔවුන්ට අමරසේකරගේ කවි ආර සහ නිසස්‌කරුවන්ගේ නිර්මාණ අතර පැවැති වෙනස අවබෝධ කර ගත නොහැකි විය. මේ ගැන අමරසේකර ඉහත කෘතියේ ම මෙසේ සඳහන් කරයි. "මෙසේ එළිපිට ම හෙළි කර තිබියදීත් අඥාන විචාරකයන් විසින් මේ කව් නිසස් - නිදහස් පද්‍ය ලෙස හැඳින්වීම ප්‍රහේලිකාවකි."
අදින් දශක හතරකට පෙර අමරසේකරයන් කළ මේ ප්‍රකාශය අදට ද එලෙසින් ම වලංගු බවට අබේවික්‍රම මහතාගේ ලිපිය කදිම නිදසුනක් නොවේද? අබේවික්‍රම මහතා තවමත් අදහන්නේ අමරසේකර නිසස් - නිදහස් කවියකු බවය. එසේ සිතීමට බලපෑ ප්‍රධාන සාධකය සිංහල ඡන්දස් සම්ප්‍රදාය පිළිබඳ ඔහුගේ අල්පාවබෝධයයි. ඇත්ත පුවත්පතට අමරසේකර ලියූ සස් කවක් ගැන ඔහු පවසන්නේ එහෙයිනි. (එකී කව අත්‍යවශ්‍යයෙන් ම සිව්පදයක් විය යුතුය. අබේවික්‍රම මහතා සස් යෑයි කියන්නේ සිව්පදයට හෙයිනි) සිව්පද කවියක් තැනීම අසීරු බව පවසන්නේ ද එහෙයිනි. සිව්පදය යනු ඡන්දස් සමුදායකින් එකක් පමණි. ඔහු කිව යුතුව තිබුණේ ගද්‍ය වැකි කැබලිවලට කඩා නිසස් ලියනවාට වඩා ඡන්දසට විරිතට අනුගතව පද්‍ය නිර්මාණය අපහසු බවය. කොළඹ කවීන් දහඅට මත් සිව්පද විරිත පල් වළක් බවට පත් කර ගන්නේ ද මේ අනවබෝධය නිසාය. වර්තමානයේ කාව්‍ය අනුභූති ප්‍රකාශනයෙහිලා බෙහෙවින් බැවහර කරන පස්‌මත් විරිත නූතන සිංහල කවියට හඳුන්වා දුන්නේ ද අමරසේකර විසිනි. ඒ සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන භාවගීතයෙනි. දළ¹ වංශය ලියා ඇත්තේ එකී වෘත්තගන්ධි හෙවත් පස්‌මත් විරිතිනි. කුවේනි අස්‌නෙහි දළදා අස්‌නෙහි මෙන් ම විවිධ ජනකවි අතර ද අපට හමුවන පස්‌මත් විරිත නූතන සාහිත්‍ය ලෝකයට දයාද කළ අමරසේකරයන් නිසස් නිදහස් කවියකු ලෙස හැඳින්වීම කෙතරම් උත්ප්‍රාසජනක ද?
කවිය ද නවකතාව කෙටි කතාව මෙන් ම ස්‌වාධීන සාහිත්‍යාංගයකි. එහෙයින් ඊට ම අනන්‍ය ලක්‌ෂණ සමුදායක් කවියට තිබේ. ඊට ආවේනික ආකෘතික ස්‌වරූපයක් කවියට තිබේ. නවකතාව කෙටි කතාවෙන් ද නවකතාව කවියෙන් ද වෙන් කොට හඳුනා ගන්නේ එම ලක්‌ෂණ ඇසුරිණි. එහෙයින් නිර්මාණකරුවාට සිය නිර්මාණය යම්කිසි සීමාවක් තුළ සිට කිරීමට සිදුවෙයි. එය නිර්මාණයේ කලාත්මක සීමාව ලෙස හැඳින්වීම නිවැරදි ය. ඒ අනුව කවිය සතු කලාත්මක නිදහසේ සීමා මොනවාදැයි මැනවින් හඳුනාගනු ලබන්නේ ද අමරසේකර විසිනි. කවියේ කාර්යභාරය රස ජනනයයි. කවිය යනු අපේ හද බසයි. කවියෙන් අමතන්නේ හදවත ය. කවියෙන් මනස අමතන්නේ ද හදවත ඔස්‌සේ ය. මේ සීමා බිඳ වැටුණු කල්හි එකී සාහිත්‍ය කෘතිය තව දුරටත් නොපවති. පවතී නම් ඒ කෘතියේ සෙවණැල්ල පමණි. එහෙයින් කවිය විවිධ විරෝධාකල්ප ප්‍රචාරණයට, සමාජවාදී විප්ලවය උත්කර්ෂයට නැවීමට යොදා ගැනීම එහි සීමා බිඳ දැමීමකැයි ද එසේ වූ කල එහි කවියක් නැතැයි ද ඔහු පෙන්වා දුන්නා පමණක් නොව සිය කාව්‍යාවලියෙන් ද ප්‍රායෝගිකව සනාථ කළේය.
ශ්‍රීනාත් ගණේවත්තයන් මැනවින් පෙන්වා දෙන පරිදි සිංහල කවියට අවැසි බස නිර්මාණය කරදුන් අසහාය කවියා ද අමරසේකර ය. එහි අවශ්‍යතාව සහ වැදගත්කම අවධාරණය කළේ ද ඔහුම ය. අදට ඔබින කවි බස වියත් බසේ කටවහරේ සහ ජනවහරේ සම්මිශ්‍රණයෙන් තනා ගත යුතු යෑයි අමරසේකර පෙන්වා දුන්නේය. මාර්ටින් වික්‍රමසිංහගේ ආභාසය ඒ සඳහා හේතු වන්නට ඇත. එසේ වූ පමණින් එකී මතවාදයේ වටිනාකම අවප්‍රමාණ නොවේ. අමරසේකර එකී මතවාදයේ සනාතන බව සිය නිර්මාණ ඔස්‌සේ ප්‍රකට කළ කවියා ද වන හෙයිනි.
අමරසේකරගේ නව සම්ප්‍රදායක් ගැන දිගින් දිගට ම කතා කරන අබේවික්‍රම මහතා සම්ප්‍රදාය යනුවෙන් අදහස් කරන්නේ කුමක්‌ද යන්න ගැටලුවකි. සම්ප්‍රදාය අවිච්චින්න ප්‍රවාහයකි. එය අතීතයේ සිට වර්තමානය ඔස්‌සේ අනාගතයට ගලා බසියි. එය වෙනස් වෙමින් නොවෙනස්‌ව ඉදිරියට ගලයි. එහෙයින් නව සම්ප්‍රදාය යන යෙදුම ද සදොස් ය. පිට රටකින් යමක් සිඟා ගත් පමණින් එය අපට සම්ප්‍රදායක් වන්නේ ද නැත. කොළඹ කවීන් මෙන් ම නිසස් කවීන් ද සිංහල කාව්‍ය සම්ප්‍රදාය හඳුනාගත් අය නොවේ. අමරසේකර නව සම්ප්‍රදායක් සොයා ගිය බව අබේවික්‍රම මහතා පැවසුව ද අප දකින සත්‍ය නම් සම්ප්‍රදායෙන් වියෝ වී අයාලේ ගිය සිංහල කවිය අමරසේකරයන් විසින් නැවත සම්ප්‍රදාය මත තිරසාර ලෙස පිහිටු වූ බව ය. අබේවික්‍රම මහතා කල්පනා කරන්නේ සිව්පදය අපේ සම්ප්‍රදාය බවය. සිව්පදයට අනුගත නොවන සියල්ල නිසස් නිදහස් කවි ලෙස පෙනෙන්නේ එහෙයිනි. සිය ගූඪ මතවාදය සනාථ කිරීමට අමරසේකර පිළිබඳ නොවන ලිපියක කොටසක් පියසමරින් උදුරා දක්‌වමින් ලිපිය අහවර කරන්නේ ද එහෙයිනි.
කෙසේ වුවද අබේවික්‍රම මහතාගේ ලිපියේ වැදගත් කරුණු දෙකක් සඳහන් වෙයි. පළමුවැන්න නිසදැස් නිදහස් කාව්‍ය ක්‍රමයක් බිහි කරන්නට ගත් උත්සාහය ලත් තැන ම ලොප් වූ බවය. එය අපි ද පිළිගනිමු. එදා කොළඹ කවියේ හුදු ශබ්ද රසයට විකල්පයක් ලෙස ශබ්ද රසයෙන් විනිර්මුක්‌ත කොට බිහි කරගත් නිසඳැස අද සංගීතය යොදා ගීතයක් ලෙස ගායනා කිරීම සංකේතවත් කරන්නේ කුමක්‌ද? නිසදැසේ මළගමය. එහෙත් ඒ මරණය තෙකල් දකින සෘෂිවරයකු සේ මුලින් ම දුටුවේ අමරසේකරයන් බව කිව යුතුම ය. සැබෑ කලාකරුවා සමාජයට ඉදිරියෙන් සිට අනාගතය දකින්නකු බව ද ඉන් සනාථ වෙයි.
ඔහුගේ ලිපියේ එන දෙවන වැදගත් කරුණ අපරිණත කෘතිවලට සම්මාන පිදීමය. කැබලිකර ලියන ගද්‍ය වැකිවලට කවිය යන ලේබලය යටතේ සම්මාන දීම තරම් කවියට කළ හැකි වෙනත් හතුරුකමක් නැත. අද මහා පිළිලයක් බවට පත්ව ඇති මේ වසංගතය අංකුර කවින් උපන්ගෙයිම මරා දමයි. වසරේ සම්මාන පිදීමට තරම් කෘතියක් නැත්නම් ගත හැකි වැදගත් ම විකල්පය සම්මාන නොදී සිටීමය. ඒ පිළිබඳ අබේවික්‍රම මහතා සමග එකඟ නොවන්නට මට කිසිදු කාරණයක් නැත. එහෙත් මෙවන් අක්‌මුල් නැති බංකොලොත් නිර්මාණකරුවන් බිහිවන්නේ අබේවික්‍රම මහතා සඳහන් කළ හේතුවේ ප්‍රතිපක්‌ෂය නිසා බව ද නොකියා ම බැරිය. එනම් මේ අංකුර නිර්මාණකරුවන් අමරසේකරයන් ගත් මග නොගැනීමය. ඔහුගේ නිර්මාණ කාව්‍ය විචාර මතවාද පරිශීලනය නොකිරීමය.
මේ ව්‍යාජ කවීහු කිසිවෙක් අමරසේකර ගිය මග ගියවුන් නොවෙති. ඒ මගට අඩියක්‌වත් තැබූ අය නොවේ. අමරසේකර නූතන කවියට හඳුන්වා දුන් පස්‌මත් විරිත පවා අවිඥානිකව මිස සවිඥානිකව මොවුන් වහරන බවක් නොපෙනේ. මහගමසේකර පවා අමරසේකරගෙන් මතුපිට සරළ ආභාසයක් ලැබූවෙකි. අමරසේකරයන්ගෙන් යම් සාර්ථක ආභාසයක් ලැබූ එකම කවියා එරික් ඉලයප්ආරච්චි බව මගේ අදහසයි. ඔහුගේ ලීස්‌තර වැට ආදී නිර්මාණ ඒ සඳහා කදිම නිදසුන් බව නාගොඩ රාජකීය විදුහලේ පැවැති අමරසේකර ප්‍රත්‍යාවලෝකන උළෙලේදී රත්න ශ්‍රී විඡේසිංහයන් ද ප්‍රකාශ කළේය. එහෙත් ඉලයප්ආරච්චිගේ විශිෂ්ට කවිත්වය බුද්ධියේ බරවායෙන් ආතුර වීමේ ලකුණු ද නැතුවා නොවේ.
මෙසේ සිංහල කවිය දිගින් දිගටම පරිහානියට පත්වීමට නිසි විචාරයක බැල්ම ඊට නොවැටීම ප්‍රබල ලෙස බලපා තිබේ. ඒ නිසාම යුගයේ විශිෂ්ටතම කවියාට විචාරකයාගේ කාර්යභාරය ද කිරීමට සිදු වී තිබේ. කෙසේ වුව ද ඒ සඳහා අවැසි වාසනා ගුණය අමරසේකරයන්ට නොමඳව ඇති බවට සිංහල කාව්‍ය සම්ප්‍රදාය නමැති නිබන්ධය පමණක් වුව සප්‍රමාණවත් සාක්‌ෂියකි. එහි නැවත සාකච්ඡාවට බඳුන් කළ යුතු දෑ නැතුවා නොවේ. එහෙත් සිංහල කාව්‍ය වංශය අළලා මෙතෙක් රචිත විශිෂ්ටතම නිබන්ධය එය බව අවිවාදිත ය.
මේ ආකාරයට කවිය ප්‍රමුඛ සිංහල සාහිත්‍ය විෂයෙහි අමරසේකර විසින් කරන ලද මෙහෙවර හා සමතැන් ගන්නා කිසිවෙක් මට සිහි කළ නොහැක ය.එහෙයින් සිංහල සාහිත්‍ය වංශයෙහි යුගයක් ආලෝකවත් කළ අමරසේකරයන් වෙනුවෙන් එක ප්‍රත්‍යාවලෝකනයක් නොව ප්‍රත්‍යාවලෝකන සියයක් තැබුව ද ඔහු විසින් කරන ලද මහාර්ඝ සේවයට අලගු තබන්නවත් නොහැකි බව මගේ අවංක අදහසයි. අද අප" අප තර සිටින ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යකරුවා ඔහු ය. නිදහසින් පසු ලද විශිෂ්ටතම කවියා ඔහු ය. සරච්චන්ද්‍රයන් හා සමතැන් ගන්නා කාව්‍ය විචාරකයා ද ඔහු ය.
නාමල් උඩලමත්ත
කොළඹ විශ්වවිද්‍යාලය