ඉන්දියානු මොඩලය හෝ චීන මොඩලය අපට හරියන්නේ නැහැ


ඔබ මීට වසර විස්සකට පමණ පෙර ‘ජාතික චින්තනය සහ ජාතික ආර්ථිකය’ යන මැයෙන් දීර්ඝ ලිපියක් පළ කළා. අද වනවිටත් ඔබ එහිදී හෙළි කළ ස්ථාවරයේ සිටිනවද?

ඒ ස්ථාවරයෙන් මම ඈත් වී නැහැ. ඒ ලිපිය මා පළ කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමා එවේලෙහි කළ අභියෝගයට පිළිතුරු වශයෙන්. තමන් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය විවේචනය කරන්නන්ට ඔහු කියා තිබුණා එය නරක නම් ඊට වෙනස් ආර්ථික ප්‍රතිපත්තියක් එළි දක්වන ලෙස. ඒ ලිපියෙන් මා මූලික වශයෙන් කළේ ඊනියා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා මේ රට මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න තව තවත් උග්‍ර වූ බව පෙන්වා දීමයි. එහිදී ජාතිකත්වය සහ ආර්ථිකය අතර ඇති සම්බන්ධය ගැන මම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ නැහැ.

ජාතිකත්වය හා ආර්ථිකය අතර ඇති සම්බන්ධය ඔබ විග්‍රහ කරන්නේ කෙසේද?

ඒ ප්‍රශ්නයට උත්තර දීමට පළමුවෙන් ජාතිකත්වය පිළිබඳව අප ඉදිරිපත් කළ නිර්වචනය යළි සිහිපත් කිරීම වැදගත් යැයි මා සිතනවා. අපි ජාතිකත්වය නිර්වචනය කළේ ජාතියක් සතුව පවත්නා සභ්‍යත්ව විඥානය ලෙසයි. ඒ සභ්‍යත්ව විඥානය සජ්ජිත ව ඇත්තේ ජාතියක් විසින් අනාදිමත් කාලයක් තිස්සේ රැකගෙන ආ ලෝකාවලෝකනය (ලොව දෙස බලන ආකාරය), පුරුෂාර්ථ, හර, ආකල්ප, ඇගයීම්, අවස්ථා, කුසලාකුසල විඥානය ආදියෙනුයි. සභ්‍යත්ව විඥානය යනු ඒවායේ සම්පිණ්ඩනයක්.

එබඳු වූ සභ්‍යත්ව විඥානයත් ආර්ථිකයත් අතර ඇති සම්බන්ධය කුමක් ද?

අපට මේ පිළිබඳව හොඳ වැටහීමක් ලබා ගන්න පුළුවන් බටහිර ලෝකය ‍ඇතුළත ධනවාදය බිහි වූ, ව්‍යාප්ත වූ, ස්ථාපිත වූ ආකාරය සලකා බැලීමෙන්. 18 වන ශත වර්ෂයේදී යි බටහිර ලෝකයේ ධනවාදය ව්‍යාප්ත වුණේ. ඊට හේතු ගණනක් තිබෙනවා. ඒ හේතුවලින් ප්‍රධාන එකක් තමයි මේ අවදියේදී බටහිර සභ්‍යත්ව විඥානය ඇතුළත සිදු වූ වෙනස; පරිවර්තනය. මේ වකවානුවේදී තමයි බටහිර බොහෝ රටවල එතෙක් පැවැති රෝමානු කිතු දහම පරදවා ප්‍රොටෙස්ටියානු කිතුදහම ව්‍යාප්ත වුණේ. ප්‍රොටෙස්ටියානු කිතුදහම පුද්ගලිකත්වය, පුද්ගලවාදය, පුද්ගල විමුක්තිය, ස්වාර්ථය පදනම් කරගත් දහමක්. මේ නව ආකල්ප ධනවාදය සාධු දහමක් ලෙස පිළිගැන්වීමට, ව්‍යාප්ත කිරීමට පදනම දැමුවා. මේ කරුණ ආර්.එච්. ටෝනි නමැති විද්වතා විසින් ‘ධනවාදයේ නැඟීම හා ප්‍රොටෙස්ටියානු කිතු දහම’ යන කෘතියෙන් පෙන්වා දී තිබෙනවා. ධනවාදයේ දාර්ශනිකයා වන ඇඩම් ස්මිත් පිළිගන්නවා ධනවාදයේ පදනම ආත්මාර්ථය බව.

ඔබ කියන ඔය සභ්‍යත්ව විඥානයේ වෙනස, පරිවර්තනය කාර්මික විප්ලවයෙන් පසු බටහිර රටවල් වල බිහිවූ නිෂ්පාදන බලවේග නිසා සිදු වූවක් ලෙස කිසිවකුට තර්ක කරන්න පුළුවන් නේද? ප්‍රොටෙස්ටියානු කිතු දහම පහළ වූයේත් ඒ නිෂ්පාදන බලවේග නිසා ය කියා තර්ක කරන්න පුළුවන් නොවේද?

මම හිතන්නේ ඔය තර්කය නඟන්නේ ආර්ථිකයත්, සංස්කෘතියත්, සභ්‍යත්වයත් පිළිබඳ කාල් මාක්ස් කළ සරල විග්‍රහය හිස් මුදුනින් පිළිගත් අයයි. මාක්ස්ට අනුව අඩිතාලම ආර්ථිකයයි. සභ්‍යත්වය හා සංස්කෘතිය ඒ අඩිතාලම උඩ ගොඩනැ‍ඟෙන මතු මහලයි. මිනිස් විඥානය ආර්ථිකයේ ප්‍රතිඵලයක්. මේක සදොස් සරල විග්‍රහයක්. සංස්කෘතියත් ආර්ථිකය වගේ ම ස්වායත්ත ප්‍රපංචයක්. ඒ දෙක අතර දැඩි සම්බන්ධකමක් තිබුණට එකක් අනෙකේ ප්‍රතිඵලය නොවෙයි. හේතු ඵල සම්බන්ධයක් ඒ දෙක අතර නැහැ.

ඔබේ මේ නිගමනය සනාථ කළ හැකිද?

ඊට හොඳ ම උදාහරණය වශයෙන් මා දකින්නේ රුසියාවේ ස්ටාලින් ගෙන ගිය ක්‍රියාමාර්ගය. ස්ටාලින් සිය රාජ්‍ය ධනවාදය හා බැඳුණු ක්‍රෑර පාලනය මඟින් රුසියාවේ ආර්ථික පදනම සහමුලින් ම වෙනස් කළා. ඉතා ටික කලෙකින් රුසියාව අතිශය බලවත් රාජ්‍යයක් බවට පත් කළා. ඒත් දශක දෙක තුනකින් ම රුසියන් ජනතාව මේ මඟ ප්‍රතික්ෂේප කළා. රුසියන් ජනතාව සතුව ඇත්තේ ටෝල්ස්ටෝයි, ඩොස්ටවුස්කි පිළිබිඹු කළ සභ්‍යත්ව විඥානය නම්, ආධ්‍යාත්මය ‍නම් මේ ප්‍රතික්ෂේප කිරීම ගැන අප පුදුම විය යුතු නැහැ. රුසියාවට ගිය හැම වතාවක ම මට මේ සිතිවිල්ල ඇති වුණා. රුසියන් ජනතාවගේ මනසේ ඇත්තේ ටෝල්ස්ටෝයි විශද කළ ආධ්‍යාත්මය නම් ඔවුන් කොහොමද ස්ටාලින් බිහිකළ මේ සමාජ ආර්ථිකය පිළිගන්නේ යන ප්‍රශ්නය ඒ හැම විටකම මා සිතේ ඇතිවුණා.

දැන් අපි අපේ රට ගැන කතා කරමු. අපේ රට නිදහසින් පසු අනුගමනය කර ඇති ආර්ථිකය ගැන කතා කරමු. අපි අපේ ජාතිකත්වයට, සභ්‍යත්ව විඥානයට සරිලන ඒ විඥානය අනු දත් ආර්ථිකයක් නිර්මාණය කර තිබෙනවද?

මම දකින හැටියට අපි තව ම ඒ ගැන හිතලාවත් නැහැ. අපි මෙතෙක් කරලා තියෙන්නේ පිටරටින් ආනයනය කළ ආර්ථික මොඩල අනුකරණය කිරීම. නිදහසින් පසු මුල දී ඉංග්‍රීසිකාරයා අනුගමනය කළ පිටරට මත යැපෙන මොඩලය එලෙසට ගෙන ගියා. ඊට සරිලන බමුණු කුලයක් ද බිහි කළා. 56 දී එක්තරා ආකාරයක සංස්කෘතික විප්ලවයක් සිදු වුවත් ආර්ථික විප්ලවයක් සිදු වුණේ නැහැ. 70 - 77 කාලය ඇතුළත එවැන්නන් කිරීමට තැත් කළා. එහෙත් එහිදී මාක්ස්වාදී න්‍යායයි වැඩියෙන් බලපෑවේ. එයින් හෙම්බත් වූ ජනතාව 77 දී ජේ.ආර්. ජයවර්ධනට විවෘත ආර්ථිකය නමින් විජාතික ආර්ථිකයක් ගොඩනැඟීමට අවස්ථාව ලබා දුන්නා. 77 න් පසු අද වනතුරු අපි අනුකරණය කරන්නේ ඒ විජාතික ආර්ථික මොඩලයයි. අපේ නායකයන් අදටත් ජාතික ආර්ථිකයක් ගැන කල්පනා කරන බවක් පේන්න නැහැ. ඒ විතරක් නොවෙයි, මේ විජාතික ආර්ථික මොඩලය වර්ණනා කරන බවත් පෙනෙන්නට තිබෙනවා. ඔවුන් මෙය වර්ණනා කරන්නේ නගරය ගමට ගෙන යන සංවර්ධනයක් ලෙස. මේක අන්තිම මුළාවක්. අපට ජාතික ආර්ථිකයක් උවමනා නම් අප කළ යුත්තේ එහි අනෙක් පැත්තයි. නගරය ගමට ගෙන යාම නොවෙයි ගම නගරයට ගෙන ඒමයි.

ඔබගේ ඔය නිගමනය තවත් හිතලුවක් නොවේ ද?

අද මේ විවෘත ආර්ථිකය, නව ධනවාදී ලිබරල් වාදය මුළු ලෝකය ම වැලඳ ගන්නා විට ඔබ හිතනවද ගම නගරයට ගෙන එන ආර්ථිකයක් මඟින් අපි මුහුණදෙන ප්‍රශ්න විසඳා ගැනීමට හැකිය කියා. ප්‍රැන්සිස් පුකයාමා නමැති විද්වතාට අනුව මේ නව ධනවාදී ලිබරල්වාදය මුළු ලොව ම අනිවාර්යෙන් අවසානයේ අනුගමනය කළ යුතුයි. මේ තමයි මිනිස් පරිණාමයේ අවසානය. ‘End of Histry, The last man යන කෘතියෙන් ඔහු මේ කරුණ පෙන්වා දී තිබෙනවා.

ඒ මිථ්‍යාවට පිළිතුරක් වශයෙන් තමයි ඔහුගේ ගුරුවරයා, සැමුවෙල් හංටින්ටන් “සභ්‍යත්ව ගැටුම’ නම් අගනා නිබන්ධය ලියුවේ.

ඔබ කියන ‘ගම නගරයට ගෙන ආ යුතුය’ කියන න්‍යාය මේ රටේ ඉන්න ආර්ථික විශේෂඥයන් පිළිගනීවී යැයි ඔබ හිතනවද?

මේ රටේ ඉන්න ඇ‍ෙමරිකාව මොළ හෝදලා එවපු ආර්ථික විශේෂඥයන් ඒක පිළි නොගැනීම ගැන මම පුදුම වෙන්නේ නැහැ. ඒ විශේෂඥයන්ගෙන් ඇතැමෙක් මම හඳුන්වන්නේ ආර්ථික ඝාතකයෝ හැටියට. ඒත් මේ රටේ හිටිය එකම අදීන ආර්ථික විශේෂඥයා ලෙස මා සලකන පුද්ගලයෙක් ඔය න්‍යාය හෙළි කළේ මීට වසර 40 කට පෙර 1973 දී. ඒ පුද්ගලයා තමයි ජී. වී. එස්. සිල්වා කියන විද්වතා. ඔහු තමයි පිලිප් ගුණවර්ධනගේ කුඹුරු පනත නිර්මාණය කළේ. 1973 දී ඔහු ඉතා වටිනා කෙටි නිබන්ධයක් පළ කළා. ඒක ඔහු හඳුන්වලා දුන්නේ ‘Some heretical thoughts on economic development’ කියලා. ඒක මේ රට දිහා බලලා ලියපු නිබන්ධයක්. එහිදී තමයි ඔහු ගම නගරයට ගෙන ඒමේ න්‍යාය ඉදිරිපත් කළේ. ඔහු එය කළේ ආර්ථික විශේෂඥයකු වශයෙන් මේ රටේ ඇති සම්පත් ගැන සලකා බලා මිස මේ කියන සභ්‍යත්වය සංස්කෘත විඥානය ගැන සලකා බලා නොවෙයි.

ඔහුගේ මේ ආර්ථික න්‍යාය ඔබ කියන සභ්‍යත්ව විඥානය සමඟ පෑහෙන බව ද ඔබ පවසන්නේ.

හරියට හරි. ඒ දෙකම රන් රස සේ පෑහෙනවා. අපේ සභ්‍යත්ව විඥානය අනුමත කරන, ඉල්ලා සිටින පුරුෂාර්ථ, අ‍ෙප්ක්ෂා, ජීවන රටාව පිළිබඳ වැටහීමක් තියෙන කාට වුණත් එය පෙනී යා යුතුයි.


මේ කරුණ තවදුරටත් විස්තර කළ හැකිද? 

මෙය අලුත් සහ වෙනස් මතයක් නිසා බොහෝ දෙනකුට වටහා ගැන්මට අපහසු වේවි.

සිංහල - බෞද්ධ සභ්‍යත්වය ඇතුළෙ හැදී වැඩුණු අපි උපන්ගෙයි මානව හිතවාදියෝ; සමාජ වාදියෝ. අල්පේච්ඡතාව, සමානාත්මතාව, පරාර්ථය, සාමූහිකත්වය තමයි අපේ පුරුෂාර්ථ; හර. මේවා තවමත් රැඳී තිබෙන්නේ ඒ සභ්‍යත්වයේ තෝතැන්න වන අපේ ගැමි ජනතාව අතරයි. මේ රටේ ජනගහනයෙන් 70% ක් තවම ජීවත් වෙන්නේ ගමේ. 77 න් පසු ඇති වූ සංස්කෘතික, ආර්ථික සංහාරයට තවම ඔවුන් ගොදුරු වී නැති බවයි ම‍ගේ වැටහීම. බාහිර වශයෙන් ඒ නව ජඩ සංස්කෘතියේ අංග ප්‍රදර්ශනය කළාට අපේ තරුණයන්ගේ ආධ්‍යාත්මය තව ම දූෂණය වී නැති බවයි මගේ විශ්වාසය.

ඔබ මෙසේ කීවට අද බොහෝ ආසියාතික රටවල් ශීඝ්‍රයෙන් දියුණු වී ඇත්තේ මේ නව ධනවාදී ලිබරල් ආර්ථිකයේ න්‍යාය උඩ නේද? අපේ අසල්වැසි ඉන්දියාව විශාල ආර්ථික දියුණුවක් ලබා ඇත්තේ මන්මෝහන් සිං හාවඩිවල සිට ගෙන ආ මේ න්‍යාය උඩ නේද?

සුළුතරයක් සුර සැප විඳින, ඔවුන්ගේ අත පල්ලෙන් හැලෙන දෙයින් අන්ත දරිද්‍රතාව තාවකාලිකව සමනය කරන මේ ආර්ථික මඟ නියම සංවර්ධනයක් ය කියා මා හිතන්නේ නැහැ. මහත්මා ගාන්ධි පැතුවේ මේ වගේ සංවර්ධනයක් නොවෙයි. මේක ඉන්දියාවට හරිගියත් අපිට හරියන්නේ නැහැ.

ඉන්දියාව පිළිගෙන ඇති මේ ආර්ථික මඟ ඉන්දියාවට හරිගියත් අපට හරියන්නේ නැහැයි ඔබ කියන්නේ කුමන හේතුවක් මතද?

මහා බ්‍රහ්මයා ස්ථාපිත කළ කුල ක්‍රමය උඩ සිය ඉරණම දේව නියමය ලෙස බාර ගන්න දුප්පත් ඉන්දියානුවා මේ ක්‍රමය බාර ගත්තට ඊට හාත්පසින් වෙනස් බෞද්ධ සභ්‍යත්වය ඇතුළත වැඩුණු අපේ ජනතාව එවැන්නක් පිළිගැනීමට ලෑස්ති නැහැ. අපේ තරුණයන් එවැන්නක් පිළිගැනීමට සූදානම් නැති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. මේ රටේ ඇති වූ ත්‍රස්තවාද සියල්ලට මුල්වූයේ ඒ ප්‍රතික්ෂේප කිරීමයි. ඉන්දියානු මොඩලය හෝ චීන මොඩලය අපට හරියන්නේ නැහැ. අපි අපට සරිලන මොඩලය සොයා ගත යුතුයි.

අපේ නායකයන්ට තවමත් එය නොතේරී ඇති බවක් ද ඔබ පවසන්නේ?

දැන් දැන් වැටහෙමින් පවතින බව පේනවා. දිවිනැඟුම වගේ ව්‍යාපෘති මඟින් එය පැහැදිලියි. මේ රටේ පසින් බිහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙය නොවැටහී යාමට හේතුවක් නැහැ. ඒ වැටහීමට අනුබල දීම දේශීය බුද්ධිමතුන්ගේ වගකීමක්.

2013/11 - සිළුමිණ

Share on Google Plus