ආචාර්‍ය්ය ගුණදාස අමරසේකරයන් විසින් රචිත ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?’ යන කෘතියේ තෙවන මුද්‍රණය සහ ‘ජාතිකත්ව සංකථන’ කෘතිය එළිදැක්වීමේ උළෙල පසුගියදා කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනේදී මුළු දුනි. අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහනාහිමි ඇතුළු ගිහි පැවිදි විද්වත්හු විශාල පිරිසක් එක්ව සිටි මෙම විද්වත් කතිකාව ‘ධර්මපාල පරපුර’ සංවිධානය කර තිබිණ. එහිදී "ජාතියේ ඉදිරි ගමන් මග සහ ධර්මපාල චින්තනය" යන මැයෙන් මහාචාර්ය අසංග තිලකරත්න මහතා සිදුකල මුඛ්‍ය දේශනය පහත දැක්වේ..
2014 සැප්තෑම්බර් මස 17 වන දිනට යෙදී තිබෙන අනගාරික ධර්මපාල තුමාගේ 150 වන ජන්ම සංවත්සරය අබියස සිටිමින් අද දින පවත්වනු ලබන මෙම රැස්වීමේ ආසන්නම හේතුව වන්නේ ගුණදාස අමරසේකර මහතා විසින් 1980 වර්ෂයේ මුලින් ම ප‍්‍රකාශයට පත්කරන ලද "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?" නැමැති කෘතියෙහි තුන්වන මුද්‍රණය විසිදුනු ප‍්‍රකාශකයන් විසින් ප‍්‍රකාශයට පත්කරනු ලැබීමත් , ඔවුන් විසින්ම සුමුදු චතුරානි ජයවර්ධන මහත්මිය විසින් අමරසේකර මහතා සමඟ ජාතිකත්වය පිළිබඳව පවත්වන ලද සාකච්ඡා ඇතුළත්ජාතිකත්ව සංකථන: ජාතිකත්වය පිළිබඳ තුලනාත්මක විග‍්‍රහයක් නම් කෘතිය ප‍්‍රකාශයට පත් කරනු ලැබීමත්ය. ධර්මපාල තුමාගේ ජීවිතය පිළිබඳ අනුස්මරණීය අවස්ථාවක මෙම කෘති දෙක – එකක් නැවත පළ කිරීම හා අනික් කෘතිය පළමුවරට පළ කිරීම තුළින් ධර්මපාල තුමා පෙනී සිටි, එතුමා ජීවිතය කැප කළ වැදගත් පැතිකඩක් දෙස නැවත අවධානය යොමු කිරීමේ කාලීන අවශ්‍යතාව අවධාරණය කෙරෙන බව පැහැදිලි කරුණකි. ධර්මපාල තුමාගේ චින්තනය හා ක‍්‍රියාකාරීත්වය පිළිබඳ විදර්ශනාවක යෙදීම සඳහා උචිත අවස්ථාවක මේ මොහොතේ අප සිටිනා බවට, එතුමාගේ ජන්ම සංවත්සර අවස්ථාවට පරිබාහිරව, කරුණු කරුණු තුනක් මා දකිනවා.
1.ගුණදාස අමරසේකර මහතාද සඳහන් කරන පරිදි වර්තමාන රජය, ධර්මපාලතුමාගේ ජාතික හා දේශපාලන චින්තනයේ ප‍්‍රතිඵලයක් ලෙස බලයට පත් වු එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රධාන පක්ෂ එකමුතුවක් විසින් පිහිටුවන ලද්දක් වීම හා එමඟින් මෙම රජය ධර්මපාල තුමා කෙරෙහි ඇති දුර ණයගැතිභාවය.
2.පසුගිය දශක තුනක පමණ කාලය තිස්සේ ජේ.ආර්. ජයවර්ධන රජය විසින් හඳුන්වා දෙන ලද නිදහස් වෙළඳ ආර්ථික ක‍්‍රමයෙහි බහුල වු අමනෝඥ ප‍්‍රතිඵල අත්විදින ජනතාවක් ලෙස අපට සුදුසු ආර්ථික හා සමාජ දර්ශනය හා භාවිතය කවරක් ද යන ප‍්‍රශ්නය අද වන විට වඩාත් ප‍්‍රබල ලෙස දැනෙමින් තිබීම.
3.අන්තර්ආගමික සම්බන්ධතා, ආගමික සහ පැවැත්ම හා යහ පැවැත්ම යන කරුණු විෂයෙහි බෞද්ධාගමික ස්ථාවරය හා භික්ෂු කාර්යභාරය පිළිබඳ ඉතා ආන්දෝලාත්මක අවස්ථාවක අප පසුවීම.
මෙම කරුණු තුනට අදාල වන ජාතිකත්වය හා දේශපාලන චින්තනය, ආර්ථික චින්තනය හා ආගමිකත්වය හෙවත් බුදුදහම සහ භික්ෂූන්වහන්සේ ධර්මපාල තුමාගේ ක‍්‍රියාකාරීත්වයේ ඉතා මුලික අංග වු බව නිසැකය.මෙම අංග සමෝධානය කරමින් "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?" යන කෘතිය රචනා කළ ගුණදාස අමරසේකර මහතා අප සමාජයේ සිටින අතලොස්සක් සමාජ විචාරකයන් හා චින්තකයන් අතර ප‍්‍රධාන කෙනෙකි. අපගේ සමාජය පිළිබඳ විශලේෂණයක් මෙන් ම අපගේ අනාගතය පිළිබඳ දර්ශනයක් ද එතුමාට හිමි බව මේ කෘතියෙන් මෙන් ම පසුගිය කාලය තුළ ප‍්‍රකාශයට පත් කළ සාහිත්‍ය හා විචාර කෘතිවලින් ද එතුමා පෙන්වා දී තිබෙනවා. තමා ද අයිතිවන සමාජය පිළිබඳව එතුමා කරන විචාරයත්, එම සමාජයට උචිත දේශපාලන ආර්ථික දර්ශනය ලෙස එතුමා ඉදිරිපත් කරන කරුණුත් කියවා බලන විට මගේ සිහියට නැගෙන්නේ යුරෝපීය සමාජය පිළිබඳව විග‍්‍රහ කරමින් පසුගිය සියවසෙහි මධ්‍ය භාගයේ දී "Escape from Freedom" වැනි කෘති ලියු Erich Fromm නමැති ප්‍රොයිඩියානු මනෝවිද්‍යාඥයා හා මාක්ස්වාදී දාර්ශනිකයා යි. බටහිර ධනවාදය මෙන් ම රුසියානු සමාජවාදය ද ප්‍රතික්ෂේප කළ ප්‍රොම් ප‍්‍රජාතාන්ත‍්‍රික මානවවාදී සමාජවාදයක් යෝජනා කළා මෙන් අමරසේකර මහතා ද මානවවාදී බෞද්ධ ආර්ථිකයක් හා පාලන තන්ත‍්‍රයක් යෝජනා කරනු පෙනේ. අමරසේකර මහතා අනගාරික ධර්මපාල තුමාගේ අදහස් ආශ‍්‍රයෙන් ඉදිරිපත් කරන මෙම ක‍්‍රියාදාමය පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. මෙම සාකච්ඡවෙහි ඉතිරි කොටසේ දී අනගාරික ධර්මපාල චින්තනය පිළිබඳ අමරසේකර මහතාගේ අර්ථකථනය සැලකිල්ලට ගනිම්න් ජාතිකත්වය, ආගමිකත්වය, දේශපාලනය හා ආර්ථිකය වැනි කරුණු පිළිබඳ අදහස් කීපයක් පළ කිරීමට බලාපෙරොත්තු වෙමි.
අමරසේකර මහතා 1980 පළ කළ "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?" යන කෘතියෙන් ප‍්‍රකාශ කරන්නේ ධර්මපාල තුමා මාක්ස්වාදීයෙකු නොවු බවත්, එතුමාට මාක්ස්වාදියෙකු වීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක සුවිශද භාවය නො තිබු බවත් ය. මෙසේ කීම මඟින් අමරසේකර මහතා බලාපොරොත්තු වුයේ එතෙක් ධර්මපාල තුමා පිළිබඳව තිබු කියවීම් දෙකක් ප‍්‍රතිෙඏප කිරීමටය:
1.ධර්මපාල තුමා ජාතික හා ආගමික උන්මාදයෙන් පෙළුණු අන්තවාදියෙක් ලෙස.
2.අවසාන විග‍්‍රහයේදී ධර්මපාල යනු හුදෙක් තමා අයත් ජාතික ධනේෂ්වර පංතියට සේවය කළ පංති නියෝජයෙකු පමණක් ලෙස.
මෙම කියවීම් ප්‍රතික්ෂේප කරන අතර, එම කෘතියෙන් අපේක්ෂිත කරුණු දෙකක් අමරසේකර මහතා දක්වයි.
1.1956 දී එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාට බලය ලැබීම හේතු වුයේ ධර්මපාල තුමා විසින් ආරම්භකරන ලද ජාතික චින්තන ව්‍යාපාරය බව තහවුරු කිරීම.
2.ධර්මපාල තුමා විසින් ප‍්‍රභාවිත ජාතික චින්තනය හා මාක්ස්වාදය අතර සහවාසයක් ඇති කිරීම.
මෙම පරමාර්ථ දෙක පිළිිබඳව දැන් කරුණු දක්වන අමරසේකර මහතාගේ අදහස පරිදි, ධර්මපාල තුමාගේ ජාතික චින්තන කාර්යය තවදුරටත් පෝෂණය කිරීමේ කාර්යය සඳහා අවස්ථාව තවමත් තිබෙනව වගේ ම එය ජාතික අවශ්‍යතාවයක් ද වෙනවා. එහෙත් දෙවැන්න, මාක්ස්වාදය හා ධර්මපාල චින්තනය අතර සහවාසය කළ නොහැක්කක්. මේ බව අමරසේකර මහතා නව සංස්කරණයට එක් කොට ඇති “ධර්මපාල තුමා හා මාක්ස්වාදය” නම් නව ඇමිණුමෙහි දීර්ඝව පැහැදිලි කරයි. (අප සමාජයේ සාමාන්‍යයෙන් නොදැකිය හැකි දුබල ගුණයක් ප‍්‍රකට කරමින් අමරසේකර මහතා මෙහි දී තම අර්ථකථනයෙහි සවරද තැන් පිළිගනිමින් පෙන්වා දෙනව).
මාක්ස්වාදය හා ධර්මපාල චින්තනය අතර සහවාසයට ඉඩක් නොමැති බවට අමරසේකර මහතා මෑතක දී සිතන්නේ බෞද්ධ දේශපාලන දර්ශනයෙහි ඇති මුලික වශයෙන් දඬුවම සඳහා වු හිංසනය හා මාක්සවාදයෙහි පද්ධතිය තුළම කා වැදී ඇති හිංසනයත් අතර වෙනසක් ඇති බැවින්. තවත් ලෙසකින් කියතොත්, බෞද්ධ දේශපාලන ක‍්‍රියාකාරීත්වයෙහි දක්නට ඇති හිංසනය දේශපාලනය තුළ අත්‍යවශ්‍ය අංගයකි. එහෙත් මාක්ස්වාදය තුළ ඇති හිංසනය එම චින්තනයෙහි අභ්‍යන්තර අංගයකි.
අමරසේක මහතා මාක්ස්වාදය පිළිබඳව ඉදිරිපත් කරන මෙම විග‍්‍රහය කොතෙක් දුරට නිවැරදිද යනු දීර්ඝව සාකච්ඡා කළ යුත්තකි. එහෙත් ධර්මපාල ප‍්‍රභාවිත බෞද්ධ චින්තනය හා මාක්සවාදී චින්තනය අතර මෙම වෙනසට වඩා දාර්ශනිකව ප‍්‍රබල වෙනස්කම් ඇති බව මගේ හැඟීමයි. නිදසුනක් ලෙස මාක්ස්වාදී හා නියතිවාදී ලෝක විග‍්‍රහය හා භෞතිකවාදී හෝ විඥානවාදී නොවන බෞද්ධ විග‍්‍රහය අතර දක්නට ඇති වෙනස පෙන්වා දිය හැකිය. අනිත් අතට, හිංසනය තුළින් නොව ප‍්‍රජාතාන්ත‍්‍රික ක‍්‍රියාදාම මගින් සමාජවාදය ක‍්‍රියාත්මක කිරීම සඳහා මෑත ඉතිහාසයෙහි දරන ලද ඇතැම් ප‍්‍රයත්න මේ ස්ථාවරයට අභියෝගකාරීය. නිදසුන් ලෙස 1948 සිට 1962 තෙක් අවස්ථා තුනකදී බුරුමයේ අගමැති තනතුර දැරූ ඌ නුගේ බෞද්ධ සමාජවාදයත්, චිලී රටෙහි සැල්වදෝර් අයියන්ඬේගේ ඡන්දයෙන් පත් වු මාක්ස්වාදී රජයත් (1970-73) අපගේ ම රටෙහි සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ රජයනුත් මතකයට නැගේ. මෙම අත්හදාබැලීම් අසාර්ථක වු සේ පිළිගැනෙන අතර, එසේ වුයේ හුදෙක් හිංසනයෙන් තොරවීමේ හේතුවන් ද යනු විග‍්‍රහ කිරීමට මෙහි දී ඉඩක් නැත.
ධර්මපාලතුමාගේ ජාතික දේශපාලන ක‍්‍රියාවලිය තුළ ප‍්‍රධාන පියවර දෙකක් වු බව අමරසේකර මහතා කියයි.
1.විජාතික පරාධීන අනුකාරක මානසිකත්වයෙන් සිංහල ජනතාව මුදාගැනීම සඳහා වු ජාතික විමුක්ති අරගලය.
2.සමාජවාදීි උත්තර සමාජයක් බිහිකිරීම සඳහා වු දේශපාලන – ආර්ථික අරගලය.
අමරසේකර මහතා දක්වන පරිදි මෙම කරුණු දෙක ම එම සංදර්භය තුළ අසාර්ථක විය. දේශපාලන නිදහස ලැබුණු නමුදු එය හුදෙක් ශරීර වර්ණයෙන් පමණක් ස්වදේශික වු පිරිසකට ලැබුණක් විය. නිදහස් වු ලංකාව තුළ එයට උචිත ආර්ථික හෝ දේශපාලන හෝ චින්තනයක් ක‍්‍රියාත්මක නොවිණි.
ජාතිකත්වය, නුතනත්වය හා බෞද්ධත්වය ධර්මපාල චින්තනයෙහි ප‍්‍රධාන අංග වු අතර, එතුමාගේ අභිලාෂය වුයේ එම අංග සංකලනය වු ප‍්‍රබල සමාජයක් බිහි කිරීමයි. එහෙත් ජාතිකත්වය හා බෞද්ධත්වය, පුළුල් අර්ථයකින් ගතහොත් සංස්කෘතිය, බැහැර කරන ලද අතර, නුතනත්වය පදනම් කොට ගත් ආර්ථික හා සමාජ දර්ශනයක් ද පාලක පංතිය තුළ දක්නට නොලැබිණි. මෙහි ලා අප විසින් සලකා බැලිය යුතු වැදගත් ප‍්‍රශ්නය වනුයේ ධර්මපාල තුමාගේ ආර්ථික- දේශපාලන දර්ශනය කොතරම් දුරට 21වන සියවසෙහි අනාගත ශ‍්‍රී ලංකාව ගොඩනැංවීම සඳහා උපයෝගී කොට ගත හැකි ද යන්නයි. එතුමාගේ ආර්ථික චින්තනයෙහි කැපී පෙනෙන කරුණු දෙකක් වුයේ,
1.සෑම දෙනාටම කුඩා ඉඩමක් හිමි, ස්වාධීන ආර්ථික මාර්ගයකින් යුත් ග‍්‍රාමීය ආර්ථිකය අනුමත කිරීම
2.විද්‍යාත්මක ඥානය හා කාර්මිකත්වය ආර්ථිකයෙහි ඉතා වැදගත් අංග ලෙස පිළිගැනීම
යන කරුණුයි. මෙහිලා ධර්මපාල ප‍්‍රායෝගිකත්වය අවධාරණය කළ අමෙරිකානු අධ්‍යාපනයත්, කාර්මිකත්වයෙන් යුත් ජපන් සමාජයත් අගය කළ බව පැහැදිලිය.
මෙම කරුණු දෙකෙහි, ග‍්‍රාමීය ආර්ථිකයෙහි හා කාර්මීකකරණයෙහි, සංකලනය අවධාරණය කිරීම තුළින් හෙළිවන පරිදි ධර්මපාල තුමා හුදු අතීතාභිවාදකයෙකු පමණක් නොවීය. එහෙත්, මෙම අංග දෙක එකිනෙක හා සංකලනය කළ හැකිකේ කෙසේද යන්න පිළිබඳ ප‍්‍රමාණවත් විස්තරයක් එතුමා හෝ අමරසේකර මහතා හෝ සපයා ඇති බවක් දක්නට නැත.
අභියෝගය වනුයේ ගෝලීයකරණය වු ලෝකයක ධර්මපාල ප‍්‍රභාවිත බෞද්ධ ආර්ථික- දේශපාලන දර්ශනය සඳහා ඇති අවකාශය සොයා ගැනීමය. මෙහිදි මුලින් ම පැහැදිලි කර ගත යුතු කරුණක් නම් බෞද්ධ දේශපාලන හෝ ආර්ථික පද්ධතියක් නැති බවත්, ඇත්තේ දර්ශනයක් හෙවත් පුළුල් මාර්ගොපදේශක සමූහයක් පමණක් බවත්ය.ඊ.එෆ්. ෂූමාකර් Small is Beautiful නම් වු සුප‍්‍රකට කෘතිය මගින් “බෞද්ධ ආර්ථික විද්‍යාව”(Buddhist Economics) යන සංකල්පය ඉදිරිපත් කළත් එය පූර්ණ බෞද්ධ ආර්ථික විද්‍යාවක් ලෙස ඉදිරිපත් කොට ඇතැයි කිව නොහැක. එහිලා අදාළ කර ගත හැකි මූලික සංකල්ප, ඉගැන්වීම් හා සම්ප‍්‍රදාය ඉදිරිපත් කොට ඇත. කලක් ශ‍්‍රී ලංකා මහ බැංකුවෙහි අධිපතිවරයා වූ එච්. එන්. එස්. කරුණාතිලක මහතා "This confused Society (1970) නම් කෘතියෙන් මෙම සංකල්පය තව දුරටත් බෞද්ධ චින්තනය හා සම්බන්ධ කොට ඇත. පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමිපාණන් වහන්සේගේ මෙහෙයවීම මත කේ. එන් ජයතිලක වැනි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් කරන ලද සාකච්ජා මාලාවක ඵලයක් වූ මෙම කෘතිය ෂූමාකර්ගේ කෘතිය හා සමාන ප‍්‍රසිද්ධියක් නොලැබුන ද අගනා කාලීන ප‍්‍රයත්නයක් විය.
මනුෂ්‍යයාගේ තණ්හාව වැඩි කරණ ඔහු හුදෙක් පරිභෝජන යන්ත‍්‍රයක් බවට පත් කරණ ධනවාදය බෞද්ධ චින්තනයෙන් දුරස්ය. අනික් අතට මිනිසාට මග පෙන්වීම අවශ්‍ය වූවත් ඔහු මතවාදයක වහලකු කළ නොහැකිය. ඒ අනුව බෞද්ධ චින්තනය පූර්ණ සමාජවාදයක් ද නොවේ. අවශ්‍ය වනුයේ (නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී) නිදහස හා (සමාජවාදී) සමාජ සාධාරණත්වය අතර සමතුලිතතාවක් ඇති කිරීමයි. මෙම ආර්ථික හා දේශපාලන ක‍්‍රම දෙකෙන් ම උපුටා ගැනීමට කරුණු තිබිය හැකිය. බෞද්ධ චින්තනයට මෙහි ලා බාධාවක් නැත්තේ යමක් සුභාෂිතයක් නම් එහි ප‍්‍රභවය කුමක් වූවත් එය පිළිගැනීමෙහිලා නිදහස බුදුරදුන් විසින් බෞද්ධයාට ලබා දී ඇති බැවිනි. සබ්බං සුභාසිතං බුද්ධ වචනමෙම (සියලු යහපත් ප‍්‍රකාශ බුද්ධ වචන වේ: අංගුත්තර නිකාය) යන්නෙන් ප‍්‍රකාශ වන්නේ එයයි.
ප‍්‍රැන්සිස් පුකුයාමා (Francis Fukuyama)ගේ ඉතිහාසයේ අන්තය සේ දැක්වෙන විශ්ව ව්‍යාප්ත නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ප‍්‍රතිචාරයක් වන සැමුවෙල් හන්ටින්ටන් (Samuel Huntington) ගේ සභ්‍යත්ව ගැටුම ගැන (Clash of Civilizations) අමරසේකර මහතා සඳහන් කරයි. ධනවාදය ලෝක ආර්ථික දේශපාලන ක‍්‍රියාකාරීත්වයෙහි අන්තය විය නොහැකිය යන අමරසේකර මහතාගේ මතය හා මම එකඟ වෙමි. එහෙත් බෞද්ධ චක‍්‍රවර්ති රාජ්‍ය සංකල්පය යථාර්ථයක් වේ නම් ඉන් හෙළිවනුයේ ධාර්මික වූ විශ්ව රාජ්‍යයක උදාවීම නොවේද? චක‍්‍රවර්ති රජු තම අනුගාමී රජවරුනට දෙන අවවාදය වනුයේ යථාභුච්චං භුඤජථ මෙතෙක් අනුභව කරන ලද පරිදි අනුභව කරන්න- යන්නයි. ඉන් ගම්‍ය වනුයේ පද්ධතිය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැති අතර පවත්නා පද්ධතිය තුළට ධාර්මිකත්වය එක් කළ යුතු බවයි. ලෝකය ඒකාත්මික මතවාදයකට පැමිණීමේ ඉඩ අප විසින් ප‍්‍රාගනුභූතව (priori) බැහැර කළ යුතු නැත. මෙහිලා ආසන්නතම නිදසුනක් නම්, ධර්මපාල තුමා ද සහභාගී වූ 1887 චිකාගෝ නුවර පැවති ලෝක ආගම් සම්මේලයෙහි (Parliament of World Religions) ශත සංවත්සරය වෙනුවෙන් 1997 හි දී පැවැත්වු දෙවන චිකාගෝ සම්මේලනයෙහිදී සදාචාරය පිළිබද විශ්ව ප‍්‍රකාශනයක් (Universal Declaration of Ethics) සියලූ ආගමිකයන් විසින් ඒකමතිකව අනුමත කර ගනු ලැබීමයි. මෙය එබදු සමරූපී අනාගතයකට ඉඟි කරන්නක් නොවේද? බෞද්ධ චින්තනය උපයෝගී කොට ගනිමින් ආර්ථික, සාමාජික, ප‍්‍රශ්නවලට විසදුම් සෙවීමට ශ‍්‍රී ලංකාව තවමත් සූදානම් බවක් නොපෙනෙතත්, ලෝකයේ සාම්ප‍්‍රදායිකව බෞද්ධ නොවන සමාජ මෙහිලා අත්හදා බැලීම් කරන බව සඳහන් කළ යුතුය.
අවශාන වශයෙන්, ධර්මපාල චින්තතනය පිළිබඳව කරන සාකච්ජාවක්, එතුමා භික්ෂුවහන්සේ හා උන්වහන්සේගේ කාර්යභාරය පිළිබඳව දැක්වූ අදහස් පිළිබඳ විමසීමකින් තොරව සම්පූර්ණ විය නොහැකිය. එතුමා මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ‍්‍රී සුමංගල වැනි ශ්‍රෙෂ්ඨ හිමිවරුන් ඉතා සමීපව ආශ‍්‍රය කළ අතර, උන්වහන්සේලාගේ ආශිර්වාදය මෙන්ම මඟ පෙන්වීම ද ලැබීය. එහෙත්, ඒ සමගම පොදුවේ භික්ෂුන්වහන්සේ තුළ පැවති අකාර්යශීලිත්වය, නුගත්කම, අතිසාම්ප‍්‍රදායිකත්වය වැනි බොහෝ කරුනු ඉතා දැඩි සේ විවේචනයට ද ලක් කළේය. එසේ කළේ එතුමාගේ අනාගත දර්ශනය ක‍්‍රියාත්මක කිරීමෙහි ලා භික්ෂූන්වහන්සේගේ නායකත්වය හා සහභාගීත්වය අත්‍යවශ්‍ය සේ එතුමා දුටු බැවිනි.
The work of Kings නම් කෘතිය ලියූ එච්. එල්.සෙනවිරත්න නම් විචාරකයා සඳහන් කරන පරිදි ධර්මපාලතුමාගේ ආර්ථික හා සාමාජික පුනරුදය පිළිබද කාර්යයට විද්‍යොදය භික්ෂූන් උරදුන් අතර, එතුමාගේ මතවාදී හා සංස්කෘතික පුනරුදය විද්‍යාලංකාර භික්ෂූහු භාර ගත්හ. ධර්මපාලතුමාගේ ශ‍්‍රී ලාංකික ක‍්‍රියාකාරීත්වය විෂයෙහි භික්ෂූ කාර්යභාරය කෙතරම් වැදගත් වී ද යනු මින් පැහැදිලි වේ.
මෙහිලා අපට වර්තමානයේ ඇති ගැටලූව වන්නේ නූතන භික්ෂූන් වහන්සේගේ ජාතික, ආගමික හා සාමාජික ක‍්‍රියාකාරීත්වය කෙරෙහි ධර්මපාල චින්තනය අදාල වන්නේද යනුයි. නැතහොත් එම ක‍්‍රියාකාරීත්වය ධර්මපාල චින්තනයට කොතෙක් දුරට අනුගත වන්නේ ද යනුයි. ප‍්‍රබල ක‍්‍රිස්තියානි ආගමික අභියෝගයක් තිබූ යටත් විජිත යුගයෙහි භික්ෂූන්වහන්සේ එයට මුහුණ දුුන් අයුරු පිළිබඳ කතාන්දරය පානදුරාවාදය ඇතුලූ වාදවල කතාන්දරය වේ. ධර්මපාල කෙනෙකු නිර්මානය වීම සඳහා ද ප‍්‍රධාන සාධකයක් වූ පානදුරාවාදය, භික්ෂූන්වහන්සේ එය කළ අයුරු, එහි ලා උන්වහන්සේලා දැක්වූ ධර්මධරත්වය හා පාණ්ඩිත්‍යය, එමගින් ඇමරිකාව ඇතුලූ ලොව පුරා විහි දී ගිය යශෝරාවය- සමස්ත ශ‍්‍රී ලාංකික මෙන් ම ලෝක බෞද්ධ ඉතිහාසය ද වෙනස් කිරීමට හේතු වු බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් අද අප ජිීවත් වන පශ්චාත් සෝම යුගය තුල දක්නට ලැබෙන නව භික්ෂූ ක‍්‍රියාකාරීත්වය ධර්මපාල තුමාගේ හදවතට කොතරම් ආසන්න ද යනු ගැටලූවකි.
අන්තර් ආගමික ක‍්‍රියාකාරීත්වය ධර්මපාල යුගයේ මෙන්ම අද ද ඉතා ප‍්‍රබල අභියෝගවලින් යුක්තය. ඒවාට මුහුණ දිය යුත්තේ අතිවිශාල ආධ්‍යාත්මික ශක්තියකින් හා ශික්ෂණයකින් යුක්තව බව පමණක් කිව හැකිය. නීතිය අතට ගෙන අවිනීතව ක‍්‍රියාකරන භික්ෂූන්ගේ ක‍්‍රියාකාරකම් ධර්මපාල තුමා ගැන සඳහන් කිරීමෙන් සාධාරණීකරණය කළ නොහැක. ධර්මපාලතුමා රළු- පරුෂ ලෙස කතා කළේ තම සහෝදර සිංහල බෞද්ධයන්ටය. එසේම එතුමා අශිෂ්ට භාෂාව හෝ හිංසනය භාවිත කලේ ද නැත. කෙටියෙන් කියන්නේ නම් දේශපාලනික හා ආගමික අපචාර සඳහා ධර්මපාලතුමා යෙදා ගැනීම එතුමාට කරන ගෞරවයක් නොවේ. මහජනයාට සම්බන්ධ එමෙන්ම මහජනයාට වග කිව යුතු ආයතනයක් ලෙස භික්ෂූ සමාජය වෙත මහජන විවේචන එල්ල වීම කිසිසේත් ම නව සිදුවීමක් නොවේ. එහිලා නිවැරදි ප‍්‍රතිචාරය විය යුත්තේ විවේචකයින් පිටිපස එලවීම නොව ඔවුන්ට පිළිතුරු සැපයීමය. අභියෝග කෙරෙහි භික්ෂූන්වහන්සේ ප‍්‍රතිචාර දැක්විය යුත්තේ භික්ෂූන්වහන්සේ ලෙසය. එහිලා බුදුරදුන්ගේ හා ධර්මපාලතුමාගේ ආදර්ශයට අමතරව, තිච් නත් හාන් හිිමි, දලයි ලාමා හිමි, මහත්මා ගාන්ධි, මාර්ටින් ලූතර් කිං, නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨයන්ගේ චරිත ද ආර්ශයට ගත හැකිය.
මෙතෙක් කරන ලද සාකච්ජාවෙන් පැහැදිලි විය යුත්තේ ධර්මපාල තුමාගේ කාලීනත්වය තවමක් ඉක්මවා ගොස් නැති බවය. සමස්ත සමාජය සිසාරා ගලා යන්නා වු ගෝලීයකරණ කි‍්‍රයාදාමයෙහි නොගිළී සිටීම සඳහා ධර්මපාල තුමාගේ මඟ පෙන්වීම අපට තවදුරටත් අවශ්‍ය වනු ඇත. ඒ සදහා වන සාකච්ජාව සඳහා අප සමාජය මෙහෙයවන ගුණදාස අමරසේකර වැනි චින්තකයන්ට ප‍්‍රණාමය පුදකරමින් මෙම සාකච්ජාව සමාප්ත කරමි.
මහාචාර්ය අසංග තිලකරත්න
පාලි හා බෞද්ධ අධ්‍යයන පිළිබඳ මහාචාර්ය
කොළඔ විශ්වවිද්‍යාලය
කොළඔ