විද්‍යෝදය සම්මාන උළෙල කොළඹ ජාතික පුස්තකාලයේ දී (2014.09.01) පැවැත්විණි. එහි දී අවසන් දේශනය කළ ගුණදාස අමරසේකර කළ කතාව .
‘‘පළමුවෙන් ම මෙම කටයුත්ත වෙනුවෙන් වෙහෙස මහන්සි වු විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සුනිල් ආරියරත්න මහතා ප්‍රධාන සියලු භවතුන්ට සහ ඒ සම්මානලාභීන්ට මගේ කෘතඥතාව පළ කරනවා. මේ සම්මාන උළෙල අගයන අතර ම වෙනත් අදහස් කිහිපයක් ද පළ කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මම හිතන්නෙ විද්‍යෝදය විශ්වවිද්‍යාලය දැන් අවුරුදු නමයක්ද කොහෙද මේ සම්මානය දෙනවා.
ඒ වගේම මගේ හිතේ සංස්කෘතික දෙපාර්තමේන්තුව අවුරුදු හැට ගණනක් මේ වගේ සම්මානයක් දෙනවා. මට මතකයි කෝට්ටේ පැවති මුල්ම සම්මාන උලෙලටත් මම ගියා. ගියා විතරක් නොවෙයි ‘පැදුර කබල් උඩ ඉඳගෙන සිංහල සංස්කෘතිය දියුණු කළ හැකියි’ කියල ලිව්ව. ඒ ඉලන්දාරි කාලෙ.
නමුත් දැන් මේ සම්මානවල බලපෑම අඩු බවයි මට පේන්නෙ. අද බලපාන්නෙ ඒව නෙවෙයි මයෙ හිතේ පොත් ප්‍රකාශකයින් විසින් පවත්වනු ලබන සම්මාන. ඒ කියන්නෙ ස්වර්ණ පුස්තක. මේ ගොඩගේ මහත්මයගෙ එක. ඒ පොත් ප්‍රකාශකයන් විසින් තමන්ගෙ වාණිජ ව්‍යාපාරය කොටසක් වශයෙන් පවත්වන සම්මානය අද ආධිපතයය දරමින් සිටිනවා. තවත් කඨෝර භාෂාවෙන් කියනව නම්, පොත් වෙළෙන්දන්ගේ ජාවාරමක් බවට මේ සම්මාන පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ විද්‍යෝදය සම්මානය සහ රාජ්‍යය සම්මානය අද බොහොම අඩු බලපෑමක් තියෙන බවයි මගේ කල්පනාව.
ඒ නිසා වාණිජ ව්‍යාපාරයේ කොටසක් වශයෙන් දෙන මේ සම්මාන හිතකර ද ඒවායෙන් යම්කිසි වැඩක් වෙලාද කියල සොයා බලන්න ඕන අවස්ථාවක් මේක. මටනම් පේන්නෙ පහුගිය අවුරුදු ටිකේ මේ වාණිජ ව්‍යාපාරය ඉතාම ප්‍රබල ප්‍රචාරක මාධ්‍යයක් විදියට මේක යොදාගනිමින් මේ කරන සම්මානවලින් මම හිතන්නෙ අහිතකර ප්‍රතිඵල ඇතිවන බවයි.
මම පසුගිය දවසක මේ ගොඩගේ මහත්තයටත් මූණට ම කිව්ව ‘මොකක්ද මේ ඔය මහත්තයලගෙ සම්මාන. මේව කිසි වැඩකට නෑ. ඒවගෙන් නරකක් මිසක් හොඳක් වෙන්නෙ නෑ’ කියල. අපි මේ කාරණය පිළිගන්න ඕන. මොකද මට පේනව මේ සම්මාන නිසා පාඨක රුචිය එන්න එන්න ම හීන වෙලා තියෙනව; දූෂණයට පත්වෙලා තියෙනව. ඒ වගේ ම මේ සම්මාන නිසා තරුණ ලේඛකයො නොමග යන බවක් පේනව. මොකද ඒ අය මේ තොරගත්තු පොත් හොඳයි කියල හිතනවා. ඒව අනුකරණය කරල ලියන්න තමයි හදන්නෙ.
ඒ විතරක් නෙවෙයි නවකතා ලියන්නෙ අවුරුද්ද අන්තිමේදි ස්වර්ණ පුස්තකයෙන් හරි ගොඩගේ මහත්තයගෙන් හරි හම්බවෙන මුදල් නිසා. ඒ දෙකට ම වැඩිය නරක දෙයක් විදියට මට පේන්නෙ දැන් මේව එක්තරා විදියක සාහිත්‍යය ආක්‍රමණයක් සදහා යොදාගන්න බවයි. ඒ කියන්නෙ මේරටේ සභ්‍යත්වය ජාතිකත්වය වැනසීම පිණිස මේ සම්මාන යොදාගන්න බව මට පේනව. මේක අවංකවම මම කියන්නෙ.
මොකද මේක අද ඊයෙ නෙවෙයි මම කිව්වෙ මිට අවුරුදු දහයකට කලින් මම කිව්වෙ. දෙදහස් හයේ මම ලිපියක් ලියල කිව්ව ‘ජාතිකත්වය වැනසීම සඳහා සාහිත්‍යය යොදාගැනීම’ කියල. අද ඒක ස්ථීර වශයෙන් ම අපිට පේන්න තිබෙනව. මොකද මේ මණ්ඩලවලට පත්වෙන අය N G O නඩකාරයො. නැත්තන් ඩොලර් කාක්කො. මෙයාල එක්කහු වෙලා මේ සම්මාන මේ රටේ ජාතිකත්වය සභ්‍යත්වය වැනසීම සඳහා ගෙනියන ආක්‍රමණයක කොටසක් බවට පත්වෙල තියෙනව. මේක භයානක තත්ත්වයක්. එම නිසා මේ ගැන නිහඬව ඉන්න බෑ.
මේ සම්මාන ගැන අපි සලකල බලන්න ඕන. ඒකට පිළියමක් වශයෙන් මම යෝජනා කරනව සුනිල් ආරියරත්න මහත්තයො මේ සම්මාන දීම දැන් නවත්තන්න. මේකෙන් වෙන්නෙ හානියක් මිසක් වැඩක් නෙවෙයි. ඒ නිසා ලබන වසරෙ ඉඳල මම සංස්කෘතික දෙපාර්තමේන්තුවටත් කියනව මේ සාහිත්‍යය සැණකෙළි සම්මාන දීම නවත්තල ඊට වඩා වැදගත් සාහිත්‍යය කෘතියක් අපේ සංස්කෘතියට සාහිත්‍යයට හිතකර ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා යොමුවෙන්නෙයි කියල මම නැවතත් කියනවා.
අනිත් එක මම තීරණය කරල තිබුණ මේ සාහිත්‍යය උත්සව කිසි එහෙකට නොඑන්න. ඒත් ඒක කරන්න බෑ. මොකද සුනිල් ආරිරත්න මහත්තය ගලප්පත්ති මහත්තය ප්‍රණීත් අබේසුන්දර මහත්තය මගෙ හොඳ යාළුවො. අනිත් එක මේ තුන්දෙනා ම විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙ ඉඳගෙන මං හිතන්නෙ යම් වැදගත් කටයුත්තක් අපේ සංස්කෘතිය සම්බන්ධයෙන් කරනව. ඒ නිසා එතුමන්ට කරන ගෞරවයක් වශයෙන් මම ආවෙ. එහෙම නැත්නම් මගේ අදහසක් තිබුණෙ නැහැ එන්න. එම නිසා අවසාන වශයෙන් මම ඔවුන්ට කියන්න කැමතියි දැන් මේ සෙල්ලම නවත්තන්න. නවත්තල මීට වඩා වෙනස් ක්‍රියාපටිපාටියක් මීට පස්සෙ කරන්නෙයි කියල ඉල්ලමින් මගේ අදහස් දැක්විම මෙතනින් අවසන් කරනවා’’
2014.09.01