පේරාදෙණි සාහිත්‍යය
ආරියවංශ රණවීර
එක්‌දහස් නවසිය විසි ගණන්වල යුනිවර්සිටි කොලීජිය ආරම්භ වූ කල සිටම, එහි විද්‍යාර්ථින් ශ්‍රී ලාංකික සංස්‌කෘතික ක්‌ෂේත්‍රයට, නව නැඹුරුවක් හඳුන්වා දීමට ගත් ප්‍රයත්නයේ කුළු ගැන්වීම අප අත්විඳිනුයේ එක්‌දහස් නවසිය පණස් ගණන්වල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේයි. පණස් ගණන්වල හටගත් මේ ප්‍රබෝධය සිංහල බස, නාට්‍ය, සාහිත්‍යය, ඉතිහාසය, පුරාවිද්‍යාව, සම්භාව්‍ය භාෂා යන මේ සියලු ක්‌ෂේත්‍රයන් අළලා විහිදුණු එකක් විය.
පේරාදෙණි සාහිත්‍යය නැතහොත්, සමහරු අවර පදයක් ලෙස වහරන 'පේරාදෙණි ගුරු කුලය' මූලික වීමෙන් පැන නැගි සාහිත්‍ය ව්‍යාපාරය මේ ප්‍රබෝධයේම අනුලංඝනීය ප්‍රතිඵලයකි. මේ කෙටි සටහන කිසිසේත්ම පේරාදෙණිය සාහිත්‍යය පිළිබඳ ව ඉදිරිපත් කරන පූර්ණ ගවේෂණාත්මක ලිපියක් නොවේ. උඩින් උඩින් ඇඳි කටු චිත්‍රයක් පමණකි.
මෙම ලිපියේ පළමු කොටස පසුගිය සතියේ පළ විය.
ප්‍රබන්ධ ක්‌ෂේත්‍රය තුළට ද, සිරි ගුණසිංහ ගෙන ආවේ නව මානයකි. ඔහුගේ "හෙවනැල්ල" මෙහිදී "මස් ලේ නැති ඇට" තරම්ම පෙරළිකාර කෘතියකි. ගුණදාස අමරසේකර මහතාගේ ප්‍රබන්ධ කෘති සමඟ මේ කෘතිය ද සලකා බැලීමට අදහස් කරමි.
පේරාදෙණිය සාහිත්‍යයේ පෙරළිකරු සිරිගුණසිංහ නම්, ගුණදාස අමරසේකර පේරාදෙණිය ගුරු කුලය නමැති කැලය නසන්නට වෙර දරන කැලයේම ගසයි. කැලයක් නසන්නට කැලයේම ගසක් අවශ්‍යය යන්න අප අර පවතින ප්‍රකට ප්‍රස්‌තාව පිරුළකි. ප්‍රබන්ධකරණය (නවකතා හා කෙටිකතා) කවිය හා විචාරය යන තුන් ආකාර ප්‍රවේශ මගින් සාහිත්‍යය ලෝකයට පිළිපන් අමරසේකරයෝ සිය නිර්මාණ ජීවිතයේ මුල් අවධියේ දී පැහැදිලි ලෙසම පේරාදෙණි ගුරුකුලයේ මානවකයෙකු විය. කාව්‍ය ක්‌ෂේත්‍රය ගතහොත් ඔහු "භාවගීත" අරඹා "අමල් බිසෝ" කාව්‍ය දක්‌වා පෙන්වන්නේ මේ ප්‍රවණතාවයි. අමල් බිසෝගෙන් පසු "ආවර්ජනා" කාව්‍ය කෘතියේ සිට ඔහු කවියේ ශබ්දය හා අරුත යන සුසංකලනයෙන් ඈත්ව බුද්ධිය ප්‍රමුඛ කොට ගත් අරුතට බර වීමෙන් ද කවියේ පැරණි විරිත් පූජනීයත්වයෙන් සැලකීමෙන් ද පේරාදෙණි කාව්‍ය ව්‍යාපාරයට වෙනස් මඟක් ගනී. "උඳුවප් ඇවිල්ලා", "ගඟ ළඟ බුදු රුව", "නගරයට පෑව දේදුන්න", "යමන් කළුවො ගෙදර යන්න" වැනි කවිවල දකින නිදහස් කවියා, "ගුරුළුවත", "අසක්‌දා කව" කරා එන විට, අපගේ කාව්‍ය සම්ප්‍රදාය විසින් සපයාගත් සීමාවේ කොටුවෙයි. "සිංහල කාව්‍ය සම්ප්‍රදාය" මේ මතය සනාථ කිරීමට ඔහු විසින් රචිත විවේචන කෘතියයි. ඔහු පෙන්වා දෙන මේ මගින් ඉවත්ව නිදහස් කවි ලියන්නන් බිහි කරන්නේ, සිහළ කවි කෙතේ වල් පැළෑටි යෑයි කීමට තරම් ඔහු සාහසික විය.
"කොළඹ කවියට එරෙහි වැ නැඟි සිටි නිසඳැස, කොළඹ කවියටත් වඩා දීන අනුකරණයක් විය. නිසඳැස බිහි කරන ලද්දේ අප ගේ කාව්‍ය වංශය දෙස බලා නො ව බටහිර ලොව තුළ බිහි වූ නවතම කාව්‍ය මෝස්‌තර බලා යි. එය දැන් සිංහල කවි කෙත වල් බිහි කළ 'ගේය සාහිත්‍යයක්' බවට පත් වී අවසාන ව ඇත." (අසක් දා කව, පිටුව 70).
ප්‍රබන්ධ කතා ක්‌ෂේත්‍රයේ ද අමරසේකරගේ මේ හැරවුම අප දකිමු. මිනිස් බව පිළිබඳ මෙකල යුරෝපා සමාජයේ බලපෑ ලිබරල් මානව වාදය මත පදනම්ව ලියවුණු "කරුමක්‌කාරයෝ", "යළි උපන්නෙමි", "දෙපා නොලද්දෝ", "ප්‍රේමයේ සත්‍ය කතාව" වැනි නිබන්ධනවලින් ඉවත්ව, ඔහු ගමනක මුල් කෘතියෙන් ඇරඹූ නවකතා මාලාවකින් මේ හැරවුම ප්‍රදර්ශනය කරයි. ඔහුගේ මුල් නවකතා හා සසඳන විට මේ අලුත් නවකතාවල එන චරිත ලාංකික සමාජය පිළිබඳව කර්තෘ දරන ආකල්ප හා මතවාද ප්‍රකාශ කරන ජීවයෙන් තොර නියෝජනාත්මක කටු සටහන් බවට පත් වී ඇති බව පැහැදිලිය. ඔහු ගමනක මුල කෘතියෙන් අරඹා නව කතා වෙළුම් දහයකින් අවසන් කළ නව කතා මාලාවේ, පැරණි ජීව ගුණය හා ලාවන්‍යය ඇති, කියවීමට ප්‍රිය උපදවන එකම කෘතිය "දුරු රට දුකට කිරියක" යන කෘතිය පමණකි. අමරසේකරගේ කෙටි කතා ගැන ද කිව යුත්තේ මෙයයි. 'රතුරෝසමල' හා 'ජීවන සුවඳ' යන කෘතිවල එන ප්‍රාණවත් සුගන්ධය "බොල් පිළියම හා ගල් පිළිමය" එන විට ගල් වී ඇති බව කිව යුතුයි.
සිරි ගුණසිංහගේ 'හෙවනැල්ල' මෙහිදී පෙන්වනුයේ ආකෘතිකමය හා අන්තර්ගතය අතින් නව දිශාවන් ය. හෙන්රි ඡේම්ස්, වර්ජිනියා වුල්ෆ් විසින් පාරප්‍රාප්ත කළ විඥානධාරා රීතිය සිංහල නවකතාවට හඳුන්වා දීමක් මෙහිදී සිදු විය. යථාර්ථවාදී රචනා රාමුවට එහා සිංහල නවකතාවේ ආකෘතිය රැගෙන යා හැකි බව මුල් වරට පෙන්වා දුන් කෘතිය මෙයයි. අන්තර්ගතය අතින් 'හෙවනැල්ල' ද නව ලිබරල් මානව වාදය මත පිහිටියකි. මෙහි එන ජිනදාස චරිතය, ගම-පවුල-පන්සල හා නව සමාජය අතර එකෙල මෙකෙල වන, ගමන්, ස්‌ථිතික සම්ප්‍රදාය ප්‍රශ්න කරන කෘතියකි. කැමූගේ 'පිටස්‌තරයා' නවකතාවේ එන මර්සෝගේ චරිතය ජිනදාසගේ චරිතය ගොඩනැගීමේ දී සිරිගුණසිංහගේ මනසෙහි සෙවනැල්ලක් සේ වැටි තිබුණු බව ද පෙනේ.
තම මුල් කෘතිවලින් පෙන්වූ ප්‍රභාව, සිරිගුණසිංහගේ ද පසු කාලීන කාව්‍ය ග්‍රන්ථවල කේඩෑරි වී යැම කණගාටුවට කරුණකි. ඔහුගේ 'මස් ලේ නැති ඇට' හා 'රතු කැකුළ' කාව්‍ය ග්‍රන්ථ තරම් උඡ්වලිත බවක් ඔහුගේ නවතම කාව්‍ය ග්‍රන්ථයේ දැකිය හැක්‌කේ කලාතුරකිනි. ඔහු පසුව ලියූ ප්‍රබන්ධ කතාව වන 'මන්දාරම' නව කතාවේ ද මේ අඩුව පෙනේ. මව්බිමෙන් ඈත වෙනස් සංස්‌කෘතික පරිසරයක සිටීම මේ පරිහානිය කෙරෙහි බලපෑ ඇත්දෝ හෝ යන සංශය මෙහිදී පහළ වේ.
අමරසේකර හා සිරි ගුණසිංහ අතර ප්‍රවාදය සම්ප්‍රදාය විග්‍රහ කිරීම මත පිහිටා ඇති ගැටුමක් බව මෙහිදී කෙටියෙන් වුව ද පෙන්වා දිය යුතුය. පේරාදෙණි සාහිත්‍යය සම්ප්‍රදායට එල්ල වන ප්‍රධාන ප්‍රහාරය නම් එය අපගේ පාරම්පරික සාහිත්‍යය සම්ප්‍රදාය නොතකා හැර, යුරෝපීය මතවාද අප පොළොවේ පැළ කිරීමට දරන වෑයමක් ය යන්නයි. දීර්ඝ කථිකාවට ලක් කළ යුතු මේ සම්ප්‍රදාය පිළිබඳ මතවාදය විශ්ව සාහිත්‍යය ක්‌ෂේත්‍රයේ ද බලවත් විවාද වලට පාත්‍ර වූ කරුණකි. දහ නම වන ශතවර්ෂයේ දී රුසියාවේ ඩොස්‌ටෝවුස්‌කි හා ටර්ගිනිෆ් අතර ඇති වූ ප්‍රසිද්ධ විවාදය මෙසේ සම්ප්‍රදාය හා නවීනත්වය මත පදනම් වූවකි. රටක සංස්‌කෘතිය මගින් බිහි කළ වෙනස් නොවන අංගෝපාංග සහිත සම්ප්‍රදාය ලෙස ගත හැකි ස්‌ථිතික යමක් වේද එසේ නොමැතිව මානව ප්‍රගතියක් සමග එය වෙනස් මුහුණුවරක් ගනී ද? සිරිගුණසිංහ මහතා තමාගේ 'සම්පාදාය හා ප්‍රගතිය' නම් විචාර කෘතියෙන් ඉදිරිපත් කරන්නේ එවන් මතයකි. සම්ප්‍රදායක් සතු අනන්‍ය ලක්‌ෂණ ඇත්නම් ඒවා වෙන් වෙන් කොට හඳුනාගන්නේ කෙසේ ද? එවැනි අනන්‍ය ලක්‌ෂණ කවරාකාරවේදැයි තීරණය කරන්නේ කවුද? ඒ තීරණය සම්මුතික (Consensual) එකඟත්වයක් ද? එසේ නම් ඒ සම්මුතියට දායක වන්නේ කවුද? විගද්ධයෝ ද? නැතිනම් සාමාන්‍ය වැසියෝ ද? මේ ආකාරයේ ප්‍රශ්න පැන නැගීම වළක්‌වාලිය නොහැක. ටී. එස්. එලියට්‌ගේ ප්‍රකට සාහිත්‍යයික රචනාව වන Trandition and the individual talent මතු කළ මේ කුකුස් මේ දක්‌වාම බුද්ධි ක්‌ෂේත්‍රයේ ප්‍රතිවිරුද්ධ පිල් බිහි කරයි.
"ජාතික සම්ප්‍රදාය යන්නෙන් කුමක් අදහස් වේ ද කියා විපරම් කිරීම රචක, විචාරක, පාඨක යන තුන්ගොල්ල අතින්ම සිදු විය යුතු සේවයකි. සිංහලයේ මුල් බැස ගත්තේ සන්දේශ කව් සම්ප්‍රදාය ද? එසේ නම් කව්සිළුමිණ සම්ප්‍රදායානුකූල විය නොහැක. ගුත්තිලය සම්ප්‍රදායානුකූලවිය නො හැක. ඇත්ත වශයෙන් මේ එකම සාහිත්‍ය අංගයක්‌වත් ලංකාවේ ම උපන් දේවල් නොවන බව පිලිගත යුත්තකි. අනිත් කලා ගැන කිය යුත්තේ ද එපමණය. පුරාණ සිතුවම්, මූර්ති කොතෙක් දුරට සිංහල මිනිසුන්ගේ නිර්මාණ ද? බලි තොවිල් කොතෙක් දුරට සිංහල මිනිසුන්ගේ නිර්මාණ ද? කෝලම් නාඩගම් ආදිය කොතෙක් දුරට සිංහල මිනිසුන්ගේ නිර්මාණ ද? මේවායේ උපත සෙව්වේ කව්ද? සොයන්නේ කවුද? උපත සොයා යැමේ දී මේවා ඉන්දියාවෙන් ණයට ගත් දේවල් යෑයි හැඟුනු විට ඒවා සිංහල සම්ප්‍රදාය නොවේ යෑයි කියා ඉවත ලමු ද? සන්දේශ කාව්‍යය සංස්‌කෘත සාහිත්‍යයෙන් සකස් කරගත් දෙයක් නොවේ යෑයි කිය හැක්‌කේ කාට ද? නමුත් කිසිවෙක් ඒවා සිංහල සම්ප්‍රදාය නොවේ යෑයි, ජාතික නොවේ යෑයි කියා ඉවතලන්ට කැමති නැත. සන්දේශ කාව්‍ය ක්‍රමය මුලින් ම ලංකාවට හඳුන්වා දුන් දවසේ එය ඉවත දැමුවේ නම් සිංහල සාහිත්‍යයේ ඉතුරු වන්නේ කුමක් ද කියා අමුතුවෙන් කිය යුතු නැත. ආරම්භය කුමක් වුවත්, සන්දේශ කාව්‍ය ටික සම්ප්‍රදායානුකූල නැතැයි අපි ඉවත නොදාමු. මෙයින් හැඟී යා යුත්තේ අපි සම්ප්‍රදාය යන්නෙන් හඳුන්වන දෙය සම්ප්‍රදාය වශයෙන් අපි ගණන් ගත්තේ මොන හේතුවක් නිසා ද යන්න පිරිසිදුව අවබෝධ කර ගෙන නැති බවයි." (චින්තන සම්ප්‍රදාය සහ ප්‍රගතිය, පිටුව 37-38). සම්ප්‍රදාය හඳුනා ගැනීම පිළිබඳ සිරිගුණසිංහ නගන මේ තර්කය බොහෝ ප්‍රවාදයන්ට හේතු භූත වේ.
පේරාදෙණිය සාහිත්‍යය දෙස දශක ගණනකට පසු ආපසු හැරී බලන විට අප දකින අස්‌වැන්න කෙසේ වී ද? කාව්‍ය ක්‌ෂේත්‍රයේ අද නොවිරිත් නිදහස් කවි මුල් අසුනේ සිටී. නව කවීන් අතර නිදහස් කවිය සුඛනම්‍ය ප්‍රකාශන මාධ්‍යයකි. කාව්‍ය අනුභූතියට අනුකූලව නූතන සිංහල කවීහු එළිසමය වැනි විරිත් කවි ද සිය ප්‍රබන්ධවලදී නිදහසේ යොදා ගනිති. ඒවා වල් පැළෑටි ද නැතහොත් හරවත් තුරු දැයි නිගමනය කළ යුත්තේ, ඒවායේ විරිත පිහිටුවා ඇත්ද නැද්ද යන්න මත නොව ඒවා රිද්ම ගුණය හා අර්ථ සම්පත්තිය රැකගත් හොඳ කවි ද නැත්ද යන කරුණ මතය. එය රඳා පවතින්නේ ඒ ඒ කවියා සතු නිර්මාණ කෞශල්‍යය තුළයි. ලෝක කාව්‍ය ක්‌ෂේත්‍රයේ වුව ද කවි වනාන්තරයේ වල්පැළෑටි සුලභය. ඒ වල් පැළෑටි අතරින් රිංගා ගොස් කොවුල සහිත වෘක්‌ෂයන් හඳුනාගත යුතු වෙයි.
ප්‍රබන්ධ සාහිත්‍යයේ ද සරච්චන්ද්‍රයන් විසින් අනුදත් නිර්මාණ මාර්ගයේම තවදුරටත් ගමන් කරන බව පෙනේ. යථාර්ථවාදී නවකතාව හා කෙටි කතාව තවමත් අපගේ ප්‍රධාන නිර්මාණ මාර්ග වේ. ඉන් ඔබ්බට ගිය ප්‍රබන්ධ රීතීයක් පිළිබඳව ඉඟිලෑම පෑවේ ද පේරාදෙණිය සාහිත්‍යයි. ඊවා රණවීර තමාගේ 'සෙදෝනා' වැනි නවකතාවලින් මේ රීතිය ඔස්‌සේ නවකතා ප්‍රබන්ධයට උත්සාහ දැරුවත් එය මුල් බැසගත් රීතියක් බවට පත් නොවුනු බව පෙන්වා දිය යුතුය. මේ නිසා අපේ ඇඟට දැනෙන පමණින් යථාර්ථවාදයෙන් එහා ගමන් කිරීමක් සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ අපට තවමත් විද්‍යමාන නොවේ.
-නිමි-