නිමක්‌ නැති දිගු ගමන ගැන කියන


ගමනක අග

ග්‍රන්ථ නාමය : ගමනක අග
කර්තෘ : ගුණදාස අමරසේකර
ප්‍රකාශක : (සී/ස (පෞද්) විසිදුනු ප්‍රකාශකයෝ (2010)
මිල : රුපියල් 450/-


මෙරට සිංහල මැද පන්තියේ පරිණාමය අලලා ගුණදාස අමරසේකර මහතා විසින් ලියන ලද දීර්ඝ ප්‍රබන්ධයෙන් නවවෙනි කොටස හෙවත් අවසාන කොටස "ගමනක අග" නමින් 2010 වර්ෂයේදී ප්‍රකාශයට පත්විණි. 1930-1948 කාලපරිච්ඡේදයේදී "ගමනක මුල" නමින් ඇරැඹි ඒ දිගු ගමන වර්තමානයේදී බෙදුම්වාදී කොටි පරාජය කිරීමෙන් පසුව අවසන් වේ. තුන්ඈඳුතු නවකතා සිංහල සාහිත්‍යයේ මෙන්ම ලෝක සාහිත්‍යයේද තිබුණද මෙබඳු කතාමාලා ලෝක සාහිත්‍යයේ වුව විරලය. 1988 දී සාහිත්‍යය පිළිබඳ නොබෙල් සම්මානය දිනා ගත් නජීබ් මාහ්µqස්‌ (1911-2006) නමැති ඊජිප්තු ලේඛකයා, ඊජිප්තු ඉතිහාසය පදනම් කොට ගෙන නවකතා තිහක්‌ ලිවීමට සැලසුම් කළද ඔහු නවකතා තුනකට පසුව සිය අදහස අත්හැර දැමීය.

ග්‍රන්ථ නවයකින් සමන්විත වන නවකතා මාලාවක අවසාන කෘතිය පමණක්‌ ගෙන විචාරයක්‌ ලිවීම පහසු නැතිවාක්‌ මෙන්ම එය නවකතා මාලාවට කරන අසාධාරණයක්‌ද වේ. එහෙත් මෙය කේවල විචාරයක්‌ වන හෙයින් නවකතා මාලාවම ගෙන විචාරයක්‌ කිරීම අසීරුය. මෙම නවකතා මාලාව තනි විචාරයකට නොව මහා විචාර සංවාදයක්‌ සඳහා දොරටු විවෘත කොට ඇත. එය ශාස්‌ත්‍රාලය විසින් නොවේ නම් වෙනත් කිසියම් ආයතනයක්‌ හෝ ප්‍රකාශනයක්‌ මගින් සංවිධානය කළ යුතු වූවකි. "සංස්‌කෘති" සඟරාවට එබඳු අදහසක්‌ වූ බැව් මම දනිමි.

"ගමනක අග" නම් කෘතිය ඇගැයීමේදී මීට පෙර පළවූ මෙම නවකතා මාලාවේ අටවැනි කොටස වන "අතරමඟ" (2009) නම් නවකතාවද ඈ¹ ගතයුතු යයි සිතමි. එයට හේතුව වන්නේ එහි මංසන්ධියක්‌ දැක්‌වෙන හෙයිනි. එම සන්ධිස්‌ථානය වන්නේ මෙම නවකතා මාලාවේ කතානායකයා වන පියදාස 1977 න් පසුව මෙරට ඇතිවූ විපරිත ගැන කලකිරුණු මනසින් යුතුව රටහැරයැම දක්‌වන හෙයිනි.

මෙම නවකතා මාලාව විමසා බැලීමේදී සලකා බැලිය යුතු වැදගත් කරුණක්‌ වන්නේ මෙරට "සිංහල" මැදපන්තිය බිහිවූයේ 19 වැනි සියවස අගභාගයේදීද යන්නයි. නවකතා මාලාවේ හැඳින්වීමේදී දැක්‌වෙන පරිදි මැද පන්තිය "සිංහල" මැදපන්තිය, "දෙමළ" මැදපන්තිය කියා ප්‍රභේද කොට දැක්‌විය හැකිද යන්නයි. ඉතිහාසඥයන්ගේත්, දේශපාලන විද්‍යාඥයන්ගේත් පොදු පිළිගැනීම වන්නේ මෙරට මැද පන්තිය බිහි වන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේදී විශේෂයෙන්ම 1833 දී කෝල්බෲක්‌ ප්‍රතිසංස්‌කරණ වලින් පසුව බවයි.

මැද පන්තියේ කතාන්තරය කීමේදී එක්‌ අතකින් එය ඓතිහාසික ප්‍රබන්ධකරණයක්‌ද වන්නේය. මෙහිදී නවකතාකරුවා මුහුණ පාන ගැටලුව වන්නේ මේ කතාන්දරය කියන්නේ කෙසේද යන්න පිළිබඳවයි. පැරණි අධිරාජ්‍ය යුගයේ චීනයේ ඓතිහාසික නවකතාවක්‌ සේ සාර්ව චිත්‍රය නිරූපණය කරන්නේද නොඑසේනම් එය යුගයේ තෝරාගත් කඩඉම් දේශපාලන සිදුවීම් කිහිපයක්‌ තෝරාගෙන එහි අන්තර්ගතවන සේ ස්‌වයං - චරිතාපදානයක්‌ හෝ පුද්ගල චරිතාපදානයක්‌ ගොඩනගන්නේද යන්නයි. අමරසේකර සිය නවකතා මාලාවේදී තෝරා ගන්නේ මේ දෙවනු කී ක්‍රමයයි. මෙහිදී සලකා බැලිය යුත්තේ පුද්ගල ආඛ්‍යානය, සර්ව ආඛ්‍යානයට වඩා ඉස්‌මතු වන්නේද යන්නයි. සාර්ව ආඛ්‍යානය ප්‍රබලත්වයට පත්වීම නවකතාවක්‌ නොව ඉතිහාසයීය හෝ සමාජවිද්‍යාත්මක ලේඛනයක්‌ ලිවීමකි. ඕනෑම නවකතාකරුවකු මුහුණ දෙන ගැටලුව වන්නේ මේ දෙක සමතුලිත මට්‌ටමේ පවත්වා ගැනීමයි. එය අති දුෂ්කර කාර්යයකි. එමෙන්ම එහිදී කවුරුත් දන්නා සුලභ සිද්ධීන් ගෙනහැර පෑමෙන් වැළකී සිටිය යුතුය.

"ගමනක අග" හැඳින්වීමේ දැක්‌වෙන පරිදි මේ නවකතා මාලාවේ කේන්ද්‍රීය චරිතය වන පියදාස රටහැර යන්නේ "කලකිරුණු මනසින් යුතුව සිය අතීත උරුමය සොයා දැක ගැනීමේ පරමාර්ථයෙනි. ඒ උරුමය දැක ගැනීමෙන් තොරව අනුකරණයෙන් වල්මත් වී ඇති මෙරට සමාජය මුදාගත නොහැකි බව ඒ වන විට ඔහු වටහා ගෙන ඇත. ඔහු "බුදු දහමේ සාරාර්ථය, සිංහල - බෞද්ධ සභ්‍යත්වයේ පදනම මෙන්ම ඒ සභ්‍යත්ව විඥනයේ අඛණ්‌ඩ පැවැත්ම පිළිබඳවද ගැඹුරු අවබෝධයක්‌ ලබා ගන්නේද, "ඒ ඥනයෙන් පෝෂිත" වන්නේද එංගලන්තය හා අමෙරිකාවට ගොස්‌ පර්යේෂණ කටයුතුවල නිරත වීමෙනි. මේවා සොයා යැමට බටහිරට යා යුතුද? පියදාස රට හැර යන්නේ කලකිරුණු මනසකිනි. ඔහු ඔස්‌ටේ්‍රලියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා සිය පුත්‍රයාට වියදම් කළ යුතුය. ඒ සඳහා ඔහු දිගටම බටහිර රටක පර්යේෂණ කටයුතුවල රැඳී සිටිය යුතුය. ඔහු බුදුදහමේ සාරාර්ථය, සිංහල - බෞද්ධ සභ්‍යත්වයේ පදනම හා සභ්‍යත්ව විඥනයේ අඛණ්‌ඩ පැවැත්ම පිළිබඳ අවබෝධයක්‌ ලබා ගන්නේ සිය පර්යේෂණවල අතුරු ඵලයක්‌ වශයෙනි, ආපසු ලංකාවට පැමිණෙන පියදාස තමා සොයා ගත් දේ කුමන ආකාරයකින් යොදා ගන්නේද යන්න පැහැදිලි නොවේ. ඔහු එම ගමන අලුත් පරම්පරාවකට බාර දෙන බව පෙනේ.

මැද පන්තික බුද්ධිමතාට මෙසේ පිටරට ගොස්‌ අතීත උරුමය සොයා යැමට සිදුව ඇත්තේ කුමක්‌ නිසාද? ප්‍රථම කොටම ඔහුට එම පර්යේෂණ කටයුතු කිරීමට මුදල් නැත. එබඳු පර්යේෂණයකට විශ්වවිද්‍යාලයකින් හෝ වෙනත් ආයතනයකින් ලැබෙන ප්‍රතිපාදන නැත. එවැන්නක්‌ සඳහා අත හිත දිය හැකි ආයතන ඇතත් ඒවාට මුදල් නැත. විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ලබා ගත හැකි වුවද කතානායකයා එවැන්නකට පෙළඹී නැත.

නවකතාව පුරාම මැද පන්තිකයකුගේ පන්ති ආකල්ප, හැසිරීම් රටා, දෙගිඩියාව මනා ලෙස නිරූපණය වේ, "චීන සමාජයේ පන්ති ගැන විශ්ලේෂණයක්‌" (1926) නමැති ලේඛනය මගින් මාඕ සේතුං සුළු ධනේශ්වර පන්තියේ ස්‌වභාවය ගැන මනා විශ්ලේෂණයක යෙදේ. භීෂණය නිසා රට එපා වීමද, ආපසු රට මවුරට බලා යැමට සිත් නොදෙන්නේද (10 පිට) එකල මැද පන්තිකයන්ගේ සිත් තුළ රැජයූ අදහසයි. තරුණයන් ඝාතනය වද්දී තම පුතු "නියම වෙලාවට" "රටින් පිටකර ගත්ත" එක ගැන මේ මැද පන්තිකයෝ සතුටු වෙති. (17 පිට හා 22 පිට) පියදාස පිටරටදී ලංකාව ගැන කිසිවක්‌ පත්තර වලින් පවා නොකියන්නේ යයි කීමද (18 පිට) රට තුළ සිදුවනදේ නොදැක සිටීම වාසනාවක්‌ යයි කියන්නේද (36 පිට) මේ මැද පන්තික චින්තනය නිසාය.

යුද්ධයේ අවසන් අදියරේදී ප්‍රභාකරන්ගේ දරුවන් මිය යැම අසා පියදාසට මතුවන්නේ සුපුරුදු මැදපන්තික චින්තනයයි. "තමාගේ දරුවන් තමා විසින්ම මෙසේ මරණයට ගොදුරු කිරීම පියකුට කළ හැකිද? මේවා දකින්නට නොසිට සියදිවි නසාගැනීමට ප්‍රභාකරන්ට නොසිතුණේ ඇයි? මෙවැනි නර රකුස්‌ ලොවක්‌ තුළ කුමන ජය පරාජයක්‌ද?" (214 පිට) මෙය ප්‍රභාකරන් නමැති ඝාතකයාගේ චරිත ලක්‍ෂණ හඳුනා නොගෙන ඔහු දෙස පියෙකු දෙස බලන්නාක්‌ සේ බැලීමට ගත් උත්සාහයකි. පියදාස සිතන පරිදි කතෝලිකයකු වූ ප්‍රභාකරන් භගවත් ගීතාව" අත්පොතක්‌ කර ගන්නටද, ස්‌ව - ධර්මයක්‌ ගැන සිතන්නටද නැත.

මෙය "භගවත් ගීතාව" ගැන යළි ඇගැයීමකට අප මෙහෙයවයි. ශ්‍රී කෘෂ්ණ - අර්ජුන සංවාදයෙහි "අර්ජුන විර්ෂදයෝග" නම් භගවත් ගීතාවේ පළමු වැනි අධ්‍යනය යෙහිදී අර්ජුන යුද්ධයට නොඑළඹී පවසන දේ සැලකිල්ලට ගත යුතුය. "මගේ අවයව අවසඟ යේ වුවද වියලී යයි. මගේ ශරීරයේ කම්පනයක්‌, ලොමු දැහැගැනීමක්‌ ඇතිවෙයි". "මගේ අතින් ගාණ්‌ඩීව දුන්නද ගිලියෙහි. සම ද හාත්පසින් දැවෙයි. මගේ සිතද බමන්නාක්‌ මෙනි. කෙළින් සිටින්නට නොද හැක්‌කෙමි."á "යුදයෙහි සිය ජනයා මරා යහපතක්‌ද නොදකිමි"á "කෘෂ්ණය, මම ජයක්‌ බලාපොරොත්තු නොවෙමි. සැපයක්‌ ද නොදකිමි"á "කෘෂ්ණය, මම ජයක්‌ බලාපොරොත්තු නොවෙමි. සැපයක්‌ද නොපතමි. ගොවින්දය, අපට රාජ්‍යයෙන් ඇති ඵලය කිම?"á "ගුරුවරු, පියවරු, පුතුවරු, මුක්‌තපුවරු, මයිල්හු, මුණුබුරෝ, මස්‌සිනාවරු යන මේ හැම දෙනමද සෙසු නෑයෝ ද වෙති"á "මොවුන් නැසීමෙන් ලැබේයයි සිතන තුන්ලෝ රාජ්‍ය නිසාවක්‌, මම මොවුන් මරන්නට නො කැමැත්තෙමි. පොළොව පතා කරන මැරීම කියනුව කවරේද?" "ධෘතරාෂ්ට්‍රයන් ගේ පුතුන් මැරීමෙන් අපට කවර ප්‍රීතියක්‌ ද? මේ පීඩකයන් මරා ලැබිය හැක්‌කේ පවක්‌ පමණෙකි"á "ඥතිවූ ධෘතරාෂ්ට්‍ර පුත්‍රයන් මැරීමට අපි සුදුස්‌සේ නොවම්හá සිය නෑයන් මරා කෙසේ නම් සැපවත්වන්නේද?" (29, 30, 31, 32, 34, 35, 36 හා 37 වැනි ශ්ලෝක -_ භගවත් ගීතා - සරළ සිංහල අනුවාදයá අනුවාදක, එච්. සංඝදාස පෙරේරා, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, 1956).

අප ප්‍රභාකරන් ගැන මෙවැන්නක්‌ අසා නැත. කෘෂ්ණ, අර්ජුන මෙහෙයවන්නේ "ධර්ම යුද්ධයක්‌" කරාය. ප්‍රභාකරන් විසින් මෙහෙයවන ලද්දේ ධර්ම යුද්ධයක්‌ නොවේ. කලකට ඉහතදී (දැන්) අනගාරික ධර්මසේකරතුමාද ධර්ම යුද්ධයක්‌ වෙනුවෙන් පෙනී සිටියේය. භගවත් ගීතාව ගැන නිවැරදි තක්‌සේරුවකට එළැඹීමට නම් ශ්‍රී කෘෂ්ණ - අර්ජුන සියලු සංවාද කෙරෙහි සිත යොමු කළ යුතුය. භගවත් ගීතාවේ අටළොස්‌ වැනි අධ්‍යාය යේ 78 වැනි ශ්ලෝකය කියන්නේ, "යම් තැනෙක යොගෙශ්වර වූ ශ්‍රී කෘෂ්ණ වේධ, යම් තැනෙක, ධනුර්ධර වූ අර්ජුන වේද, එතුන සම්පත්තිය, ජයග්‍රහණය, භාග්‍යය. ස්‌ථිරත්වය හා නීතිය යනු මේ සියල්ල ඇත්තේය" යන්නයි. ජනඝාතක ප්‍රභාකරන්ට මේවා ගැලපිය නොහැකිය. වැඩවසම් යුගයේ බමුණන්ගේ කෘතියක්‌ වන භගවත් ගීතාව හින්දු යුදවාදීන් විසින් ප්‍රයෝජනයට ගන්නට ඇති බවට සැකයක්‌ නැත.

අප මෙතෙක්‌ මැදපන්තිකයන්ගේ ගතිලක්‍ෂණ, ආකල්ප හා චර්යාවන් ලෙස විස්‌තර කළ දැ "මනුෂ්‍ය ස්‌වභාවය" යයි කෙනකුට තර්ක කළ හැකිය. මාඕ සේතුං පැවසුවේ වාස්‌තවිකත්වයෙන් යුත් මනුෂ්‍ය ස්‌වභාවයක්‌ ගැන මිස වියුක්‌තභාවයෙන් යුත් මනුෂ්‍ය ස්‌වභාවයක්‌ ගැනය. පන්ති සමාජයෙහි තිබෙන්නේ පන්ති ලක්‍ෂණයක්‌ සහිත මනුෂ්‍ය ස්‌වභාවය පමණි. පන්තීන්ට ඉහලින් පිහිටි මනුෂ්‍ය ස්‌වභාවයක්‌ නැත. (සාහිත්‍යය හා කලාව ගැන යෙන්ආන් සාකච්ඡා මණ්‌ඩපයේදී කළ කතා (1942))

1988 - 1989 භීෂණ සමය හා ජනාධිපති ප්‍රේමදාස විසින් ඉන්දීය සාමසාධක හමුදාව ආපසු යෑවීමේ සිට බෙදුම්වාදී යුද්ධයේ අවසානය දක්‌වා වසර විස්‌සක පමණ කාලයක්‌ තුළදී රටේ දේශපාලන සිදුවීම් සංවාද අනුසාරයෙන් හෝ විවිධ පුද්ගලයන් විසින් කරනු ලබන තොරතුරු දැන්වීමෙන් හෝ ලංකාවේ වෙසෙන මිතුරන් විසින් එවනු ලබන ලිපි මගින් හෝ දක්‌වා ඇත. යුද්ධයේ අවසාන දින කිහිපය දක්‌වන්නේ ඕස්‌ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන තානාපති නිලධාරියකු පවසන තොරතුරු වලින් හා ඔහු හා සිය පුත්‍රයා හා එක්‌ව රූපවාහිනි නාලිකා නැරඹීමෙනි, ඉන්පසුව උතුරු නැගෙනහිර සංවර්ධනය ගැනද, හම්බන්තොට වරාය ගැනද කියෑවේ. පියදාස ආපසු සියරට බලා ඒමෙන් පසුව කොළඹ නගරයේ හා තදාසන්න උපනගරවල ඇතිවී ඇති විපර්යාසය දැක ගනී. (226 පිටුවේ සිට)

"ප්ලැට්‌නිවස තුළට ඇතුළු වූ පියදාස වටපිට බැලුවේ විස්‌මයෙන් ඇලලී ගිය දෙනෙතින් යුතුවය. මෙවන් අලංකාර, විචිත්‍ර, සුඛ විහරණය සලසා දෙන නිවසක්‌ ඇමෙරිකාවේ දී වත් පියදාස දැක නොමැත". (225 පිට) මෙය අපට පියදාස ශාස්‌ත්‍ර හැදැරූ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ වූ පහසුකම් ගැන කරන ලද විස්‌තරය සිහිපත් කර දෙයි. (බලන්නá ගම් දොරින් එළියට (1985) 145 පිටුවේ සිට)

පියදාස යාපනයේ කරන සංචාරය ඔස්‌සේ දෙමළ ජාතිකවාදය පිළිබඳවත්, ගැටලුවට විසඳුම් ගැන සනත් මඟිනුත් කරුණු ඉදිරිපත් කෙරේ. ඔවුන් කැටුව යන හමුදා නිලධාරියා දෙමළ මිනිසුන්ට ඇති ප්‍රශ්න ගැන කියද්දී සනත් දරන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ මතයකි. හමුදා නිලධාරියා නිවැරදිව පවසන්නේ මේ තත්ත්වය මනාලෙස කළමනාකරණය නොකළොත් කොටින්ට යළි මතු විය හැකි බවයි. (237 පිට) සනත් ඉදිරිපත් කරන අදහස සාහසික වූවකි. "අපි මොනව කළත් ඕකුන් අපේ පැත්ත ගන්නේ නැහැ. ගෙවල් හදල දුන්නය, රස්‌සාවල් සොයල දුන්නය කියල ඕකුන් අපේ පැත්ත ගන්නෙ නැහැ." "හිත දිනාගන්න කරන ඔය එක දේකින් වත් හිත දිනාගන්න බැහැ. කරන්න තියෙන්නෙ එකම එක දෙයයි. පුළුවන් තරම් දකුණෙ හිරවෙල ඉන්න සිංහලයො මෙහෙ ගෙනැල්ල පදිංචි කරවන්න ඕනෙ... එහෙම කළෝතින් එක පරපුරකින් පස්‌සෙ උන්ගෙ ගෑනු අපේ මිනිස්‌සු බැඳගනීවි.... අපේ ඈයෝ උන්ගේ ගෑණු ගනීවි." ඔහු ටී.එන්.ඒ. එක ගැන කියන්නේ "එයාලට ඇහුම් කන් දෙන්න අපිට ඇති යුතුකම මොකක්‌ද?" කියාය. (237 - 238 පිටු)

මේ අදහස්‌ ඉදිරිපත් කරන්නේ පියදාස නොව තානාපති නිලධාරියකු වන සනත් බව සැලකුව මනාය. මෙබඳු තානාපතිවරුන් සිටීම රටේ අවාසනාවකි, මොවුනගේ මේ අදහස්‌ රටට වින කටින දේශීය විදේශීය එන්.ජී.ඕ. ජාලයට, රටට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන මානවහිමිකම් මුදලාලිලාට හා ජාත්‍යන්තර ප්‍රජාවට හා දෙමළ ඩයස්‌පෝරාවට අවශ්‍ය අවිආයුධ සපයා දීමක්‌ වේ. "තව අවුරුදු දහයකටවත් මේ ආරක්‍ෂක කලාපය අයින් කරන්න නරකයි" (240 පිට) යන්න සනත්ගේ අදහසයි. "මුන්ට තව අවුරුදු විස්‌සක්‌ තිහක්‌ යනකන් කට අරින්න දෙන්න නරකයි" (242 පිට) යළිත් මේ හඬ සනත්ගේය. සිරිල් මැතිව් වැනි රට ගිනි ඇවිලවූ දේශපාලනඥයකු පවා මොහුගේ ප්‍රශංසාවට ලක්‌ වේ. අපේ සිංහලයන්ම අනුරාධපුරයේ නටබුන් වැසිකිළිවලට භාවිත කළ බව ප්‍රකට කරුණකි. ජාතික චින්තනයට න්‍යායික පදනමක්‌ සෙවූ පියදාස මෙබඳු අදහස්‌ ප්‍රකාශ නොකිරීම මගින් අමරසේකර සිය විචාරකයන් නිරුත්තර කරවයි. යුද්ධයේ අවසාන කාලයේදී සනත් හැසිරෙන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස නොව ජයෙන් අමතුවූ වීදි මිනිසෙකු ලෙසිනි. ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස කළ දෙයක්‌ද නැත.

පියදාස මහාචාර්ය කෛලාස්‌ හමුවීමට යාමද වැදගත් වූවකි. (242 පිට) කෛලාස්‌ ට පැනයැමට ඉඩ තිබුණද ඔහු රැඳී සිට ඇත්තේ ප්‍රභාකරන්ගෙන් අසරණ තරුණයන් බේරා ගැනීමටය. කෛලාස්‌ පවසන්නේ දෙමළ මිනිසා වැඩුණේ රණකාමි සංස්‌කෘතිය තුළ නොව අවිහිංසාවාදී බෞද්ධ සංස්‌කෘතිය තුළ බවත්, ප්‍රභාකරන් එය නොදැන සිටි බවත්ය. "ප්‍රභාකරන්ගේ ම්ලේඡ අමානුෂික ක්‍රියා සිංහලයන්ට වැඩිය හෙළා දැක්‌කෙ මෙහෙ ඉන්න දෙමළ මිනිස්‌සු" (243-244 පිටු) පියදාස ආපසු එනවිට කෛලාස්‌ පවසන්නේ "අපි එක්‌ වුණොත් අපිට පුළුවන් මේ රට මේ ප්‍රපාතයෙන් ගොඩ ගන්න", යන්නයි. (244 පිටු) එය ඉමහත් බලාපොරොත්තු ඇති කරන්නකි.

පියදාස පවසන්නේ ප්‍රභාකරන් මරා දැමීමම රෝග නිදානය එහෙමම ඇති බවයි. (246 පිට) යාපනයට ගොස්‌ ආපසු පැමිණි පියදාස, සිය පැරණි මිතුරකු වන තිලකසේන සමඟ කරන සංවාදය මගින් ලංකාවේ වර්තමාන තතු කරා පාඨකයා ගෙන යයි. එමගින් වර්තමානයේ ලංකාව වෙළාගත් බටහිර බලපෑම් සිහිපත් කෙරේ. (247-248 පිටු) දෙදෙනාගේම නිගමනය වන්නේ රටට ගැලපෙන්නේ "ධාර්මික සමාජවාදය" බවයි. "ඒ ධාර්මික සමාජවාදී මාර්ගය ඇරෙන්න වෙන එකක්‌ නෑ. ධාර්මික මිනිහෙක්‌ ධාර්මික මනසක්‌ බිහි කරන්නෙ නැතුව අපිටවත් ලෝකයට වත් අනාගතයක්‌ නැහැ". (249 පිට)

පියදාස ප්‍රාර්ථනා කරන "බෞද්ධ සමාජවාදය", "ධාර්මික සමාජවාදය" මනෝරාජිත සමාජවාදයක්‌ බව කිව යුතුය. ඒ බව තායිලන්ත භික්‍ෂුන්ගේ ව්‍යායාමයෙන්ද ස්‌ඵුට වෙයි. දකුණු ආසියාවේ පැරණි බෞද්ධ රාජ්‍ය අද ඇති තත්ත්වයට පත්වූයේ පාලකයන් අතීත බෞද්ධ උරුමය වටහා නොගත් නිසා නොවේ. යටත්විජිතවාදය හා අධිරාජ්‍යවාදය බෞද්ධ රාජ්‍ය පැවතීමට ඉඩ නොදෙයි. මෙබඳු විසඳුම් රොබට්‌ ඕවන්ද සැපයුවේ යයි කියන ශර්මාගේ ප්‍රකාශය නිවැරදිය. (247 පිට) තායිලන්තයේ ක්‍ෂාන්ති පුරයේ ප්‍රජාව අතරද ප්‍රතිවිරෝධතා මතුවේ. (164 පිට) එහි විනය පිරිහීමක්‌ ගැනද, නිතර අමෙරිකාවට යැම ගැන චෝදනා එල්ල වී ඇති බවද පැවසේ. (173 පිට) ඔවුන් සහභාගි වන සම්මන්ත්‍රණවලට දලයිලාමාද සහභාගි වන බව කියෑවේ. ඔවුන්ට ප්‍රකාශකයන් සොයා ගැනීමට සිදුවී ඇත්තේද අමෙරිකාවෙනි. හමුදාව හා "රතු කමිසකාරයන්" නිසා ඔවුනට සිය කටයුතු අත්හැර දැමීමට සිදුවේ. බෝධි හිමියන් පියදාසට දන්වා එවන්නේ "මෙහි ඒමේ (නැවත) අදහස අත්හරින්න" කියාය. (223 පිට)

ඉතා සංවේදී ආකාරයෙන් අමරසේකර සුජාතාගේ මරණය සිදුවූ ආකාරය විස්‌තර කරයි. "පියදාස ගේ අත සිය මුහුණ මත තබාගෙන සුජාතා දැස විවර කොට ඔහු දෙස බැලීය. වළක්‌වාගැනීමට තැත් කළ කඳුළු බිඳු කීපයක්‌ පියදාසගේ කම්මුල ඔස්‌සේ ඇද හැළිණ.

"මොනවට ද අඬන්නේ... අපි කොයි තරම් සතුටෙන් ජීවත් වුණාද?" කටහඬ දුබල වුව එය නිරාකුල විය. "(201 පිට) කාලයක්‌ තිස්‌සේ - පිළිකා රෝගය වැළඳීමට ප්‍රථම ඇය මරණයට සූදානම් ව සිටියාය. "කාලයාගේ ඇවෑමත් සමඟ සිදු වී ඇත්තේ zජීව සෝතස්‌ වෙත ළඟා වීම නොව තව තව ඈත්වීම බව දැන් සක්‌සුදක්‌ සේ පැහැදිලිය. තුෂාර පුතා දැකීමෙන් සුජාතා සිත පුත්‍ර ස්‌නේහයෙන් ගේ හසිත ප්‍රේමයෙන් ඇලලී යනු ඇතැයි යන නිගමනය ඈ ප්‍රලාපයක්‌ බවට පත්කර තිබේ... පෙර සියුම් භාවාවේග සටහන් කළ ඇගේ සජීව මුහුණ වෙනුවට දැන් ඇත්තේ අජීව විරාගී මුහුණකි." (135 පිට)

පසුගිය වසරවලදී සම්මාන ලබාගත් නවකතා වල භාෂාව පිළිබඳ ඉමහත් විවේචන ඇති විය. එමෙන්ම සිංහල නවකතාවල ඉංගිරිසි අකුරින් යම් යම් දේ දැක්‌වීමද ඉංගිරිසි දෙබස්‌ කාණ්‌ඩ දැක්‌වීමද දක්‌නට ලැබිණ. සමහර මහාචාර්යවරුන් පවා මේවා ගැන කීවේ එමගින් ඉංගිරිස්‌ ඉගෙන ගැනීමට හැකිය යන බොළඳ අදහස්‌ය. "ගමනක අග" කෘතියේ ඉංගිරිස්‌ සංවාද යෙදූ තැන් රාශියක්‌ දක්‌නට ඇත. සිංහලයා විදේශිකයන් සමඟ සංවාදයේ යෙදෙන්නේ ඉංගිරිසියෙන් බැව් අප දනිමු. එහෙත් එහි ඉංගිරිසියෙන්ම දැක්‌විය යුතු නැත.

වර්තමානයේදී ගුණදාස අමරසේකරට තැළීමට ඉදිරිපත්ව ඇති තරුණ සරසවි ඇදුරෝ තිදෙනෙක්‌ සිටිති. මේ එක්‌ අයෙකුට අමරසේකරට නොතලා වෙනත් ග්‍රන්ථයක්‌ ගැන විචාරයක්‌ කිරීමටද නොහැකි වී තිබේ. ඔවුන්ගේ ප්‍රධාන චෝදනා වන්නේ අමරසේකර සිය මතවාදයන් නවකතාවේ චරිතවලට ඔබ්බවන බවත්, නවකතාව ප්‍රචාරක මාධ්‍යයක්‌ වී ඇති බවත්, වත්මන් කෘතිවල පරිහානි ලක්‍ෂණ ඇති බවත්, අමරසේකර ප්‍රතික්‍ෂේප කළ කෘති කලාත්මක ලක්‍ෂණ වලින් අනූන බවත්, ඒවා නැවත මුද්‍රණයට ඉඩ දිය යුතු බවත්ය. මේවාට පිළිතුරු දීමට අදහස්‌ නොකළත් කිව යුතු එක්‌ වැදගත් දෙයක්‌ වන්නේ කෘතිය තුළින් සිය මතවාදය හෙළි නොකරන ලේඛකයා බෙලහීනයකු බවත් ඊනියා නිර්දේශපාලනයේද ධනේශ්වර ලිබරල්වාදී චින්තනය ගැබ්වී ඇති බවත්ය. මේ දිගු ගමන අවසන් වී නොමැත. ඒ දිගු ගමන දෙස නව මානයන්ගේ බැලීම නවකතාකරුවාගේ යුතුකමය.

සේන තෝරදෙනිය
Share on Google Plus