“ඉංග්‍රීසි පාලකයා හිමිකර දුන් දායාදය : වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව, පක්‍ෂ ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදය අද වන විට අපගේ ගෙල සිඳින උරචක්‍රමාලයක් වී තිබේ. එය පැලඳ ගෙන යන මේ අන්ධභූත ගමනේ අවසානය මේ රටේ, ජාතියේ අවසානය බව නොකිව මනාය. ඊට වහවහා විකල්පයක් සෙවීම යුගයේ අවශ්‍යතාව වී තිබේ.” ගුණදාස අමරසේකරයන් විසින් ආරම්භ කළ තිස් වසරක ජාතික චින්තන කතිකාවේ අවසන් අදියර සනිටුහන් කරමින් ඔහු ලියූ ‘සභ්‍යත්ව රාජ්‍යය කරා’ කෘතියෙහි පෙරවදනේ එසේ සඳහන් වේ. ඒ විකල්පය දේශීය බුද්ධිමතුන්ගේ ගැඹුරු සංවාදයක් තුළින් ගෙඩනැගිය යුතු බව ද අමරසේකරයන් පෙන්වා දෙයි. නමුත් පළමුව වත්මන් ආණ්ඩුවේ ‘ව්‍යවස්ථා මරඋගුල’ පරාජය නොකළහොත් එවන් විකල්පයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවක් ඉතිරි නොවන බව ද ඔහු පෙන්වා දෙයි. පහත පළ වන්නේ ‘පංචායුධය’ ඉහත කරුණු විමසමින් මේ අදීන දේශපාලන චින්තකයා සමඟ සිදු කළ සංවාදයේ ලිඛිත සටහනකි.
පංචායුධය:- මේ රට ඇදගෙන යන මේ අන්ධභූත ගමනට වහවහා විකල්පයක් සෙවිය යුතු බව කියන ඔබ, ඊට පළමුව රට හමුවේ ඇති මරඋගුලෙන් එය බේරාගත යුතු බව කියනවා. කුමක්ද මේ මරඋගුල?
ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යොදා ගෙන රට බෙදන මරඋගුල. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට හදන්නෙත් වෙන කිසිම දෙයකට නොවෙයි මේ රට බෙදන්න. මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කළෙත් රට බෙදීමට ඔහුගෙන් සහායක් නොලැබෙන නිසයි. අද මේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් හදන කුමන්ත්‍රණයේ යෙදී සිටින ජයම්පති වික්‍රමරත්න එදා ලන්ඩනයට ගිහින් ‘මහින්ද රාජපක්‍ෂ පරාජය නොකර දෙමළ ජනතාවට සාධාරණය ඉටු කරන්න බැහැ’ කියා කීමෙන්ම ඒ බව පැහැදිලි වෙනවා.
ඒ වගේම බලන්න, ජිනීවා යෝජනාවලියෙත් සඳහන් වෙනවා, ‘යුද්ධයෙන් විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කරන්න බලය බෙදන්න ඕනෙ. ඒ සඳහා ශ්‍රී ලංකා රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රැගෙන ආ යුතුයි’ කියලා. ඒ විතරක් නොවෙයි බටහිර බලවතුන්ගේ නියෝජිතයන් ලෙස මේ රටට එන හැම සුද්දාම කියන්නෙත් ‘ව්‍යවස්ථාවෙන් රට බෙදන්න’ කියලයි.
නව ව්‍යවස්ථාව පිළිබඳ සංවාදයට සමගාමීව මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළා, යුද අපරාධ සිදු කළ කියා අපේ හමුදාවන්ට චෝදනා එල්ල වෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න කියනවා. මේ සියලු චෝදනා බලපෑම් එල්ල වන්නේ මිනිස්සු භීතියට පත්කරන්න. එහෙම කළාම ව්‍යවස්ථා වෙනසකට මේ රටේ මිනිස්සු නම්ම ගන්න පුළුවන් වෙයි කියා අන්තර්ජාතික ප්‍රජාව, දෙමළ ඩයස්පෝරාව හිතනවා.
පංචායුධය:- මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පාර්ලිමේන්තුව පත් කරලා. නව ව්‍යවස්ථාවකට අදාළව ක්‍ෂේත්‍ර 06ක් සම්බන්ධයෙන් පිහිටු වූ අනු කමිටු 06ක වාර්තා පාර්ලිමේන්තුවට දැන් ඉදිරිපත් කරලා තිබෙනවා. අගමැතිවරයා නව ව්‍යවස්ථාවකට අදාළ කෙටුම්පතක් ද ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා නව ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන ඒවි නේද?
අපට එහෙම හිතන්න පුළුවන්. නමුත් රට බෙදන්න නව ව්‍යවස්ථාවක් රැගෙන ආ යුතුම නැහැ. නව ව්‍යවස්ථාවක් නැතත්, යම් ව්‍යවස්ථා සංශෝධනයක් මගින් හෝ රට බෙදීමට මේ අය කටයුතු කරාවි. ව්‍යවස්ථා සංශෝධනයකින් බැරි වුණත් පවතින ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා හෝ මේ ආණ්ඩුව ඒ දෙය කරාවි. මේ ආණ්ඩුව 2015 ජනවාරි සිට, 07 වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ආණ්ඩුවක්.
නව ව්‍යවස්ථාවකින් හෝ ව්‍යවස්ථා සංශෝධනයකින් හෝ මේ අයට ඕනෙ රට බෙදන්න. ඒකට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත්. අන්තර්ජාතික ප්‍රජාවට, දෙමළ ඩයස්පෝරාවට, මේ රටේ ක්‍රියාත්මක එන්. ජී. ඕ. කල්ලිවලට ඕනෙ එකම දෙයයි. ඒ ‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරවා ගැනීම’යි. ඉඩම්, පොලිස්, මුදල් බලතල ලබා ගත්තාම ඉතිරි ටික ඔවුන් කර ගනීවි. අවසානයේදී රට බෙදීම දක්වා යාවි.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළාම රට බෙදීම අනිවාර්යයක්. එහෙම වුණාට පස්සේ අපට විකල්පයක් ගෙන ඒමට රටක් ඉතිරි වෙන්නේ නැහැ. පළමුව කළ යුත්තේ මේ ව්‍යවස්ථා මරඋගුලෙන් ගැලවීමයි. රට මේ අන්ධභූත ගමනින් මුදවා ගෙන විකල්ප ගමනක් රැගෙන යන්න නම් එය නොබෙදී ස්වෛරීභාවය සහිතව තිබෙන්න ඕනෙ.
පංචායුධය:- ඔබ ‘සභ්‍යත්ව රාජ්‍යය කරා’ කෘතිය තුළින් සිදු කර ඇත්තේ, මේ අන්ධභූත ගමනෙහි අවසානයට පෙර වහවහා විකල්පයක් සෙවීමට දේශීය බුද්ධිමතුන්ට ඇරයුම් කිරීමක්…
ඔව්! ඒ පොතෙන් කරන්නේ ඇරයුමක් පමණයි. එසේ නැතිව ඒ විකල්පය නිර්මිත විය යුතු ආකාරය, එහි ව්‍යුහය පිළිබඳ විග්‍රහයක් මේ පොතේ නැහැ. ඒ දෙය කර ගත හැක්කේ දේශීය බුද්ධිමතුන් පිරිසක් විසින් ගෙන යනු ලබන ප්‍රබල සංවාදයක් මගින් බව මගේ විශ්වාසයයි. ඒ වගේම විකල්පයක් ගැන තාම පුළුල් වශයෙන් සංවාදයක් ඇති වෙලා නැහැ. නමුත් ඒ සංවාදයට අවශ්‍ය පසුබිම දැන් ඇති වෙලා කියලයි මට හිතෙන්නේ.
කවර දේශපාලන ගැතිකම් තිබුණත් අද මේ රටේ ඕනෑම අයකු පිළිගන්නවා, වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය, පක්‍ෂ ක්‍රමය හා මේ ප්‍රජාතන්ත්‍රවාදය විකාරයක් බව. අද වන විට ඒ බව පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. පාර්ලිමේන්තුව අද කෝලම් මඩුවක් බවට පත් වෙලා. ඒ වගේම පක්‍ෂ ක්‍රමයත් විකාරයක් වෙලා. බොහෝ පක්‍ෂවලට දේශපාලන දර්ශනයක් නැහැ. ඒ නිසයි මැතිවරණවලට එක් පක්‍ෂයකින් තරඟ කරන අය මැතිවරණයෙන් පස්සේ තවත් පක්‍ෂයකට පනින්නේ. ඒ වගේම පාක්‍ෂිකයන් විසින් පරාජය කළාම සමහරුන්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය කියලා ඉතිරි වෙලා තිබෙන්නේ අවුරුදු 05කට සැරයක් ඡන්දයක් තියෙන එක. ඒ අයිතියත් ජනතාවට බොරු පොරොන්දු ටිකක් දීලා කොල්ල කනවා.
පංචායුධය:- දේශීය බුද්ධිමතුන්ගේ සංවාදයක් තුළින් විකල්පයක් ගොඩනැගීමේදී මීට තිස් වසරකට පෙර ඔබ ආරම්භ කළ ජාතික චින්තන කතිකාවෙන් මතු වූ කරුණු බොහෝ වැදගත් බව අපේ අදහසයි. ඒ නිසා එවන් විකල්පයක් ගොඩනැගීමේදී සැලකිල්ලට ගත යුතු යැයි ඔබ විශ්වාස කරන මූලික කරුණු පිළිබඳව කතා කළොත්…
ගම් සභා ක්‍රමය වැනි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මීට වඩා හරවත් ලෙස පිළිබිඹු වන සංස්ථාවල් අපි ගොඩනඟන්න ඕනෙ. අවුරුදු දෙදහස් ගණනකට පෙර සිට අපට තිබුණේ ගම් සභා ක්‍රමයක්. ලංකාවේ ගම් සභා ක්‍රමය බිහි වුණේ පණ්ඩුකාභය රජ සමයේ සිටයි. බි්‍රතාන්‍යයින්ට මේ රට භාර දෙන තෙක් මේ පාලන ක්‍රමය පැවතුණා. නමුත් එදා සුද්දාටත් ගම් සභා ක්‍රමය නැතිව රට පාලනය කරන්න බැරි වුණා. ඒ නිසා සුද්දන් ද යළි මේ ගම් සභා ක්‍රමය රැගෙන ආවා. අපට නැවත මේ ක්‍රමය ගෙන ආ හැකියි. පක්‍ෂ ක්‍රමයක් නැති වුණාට, ගමේ ජනතාව නියෝජනය කිරීමට සුදුසුම පුද්ගලයා තමයි මෙහිදී තෝරාගනු ලැබුවේ.
පංචායුධය:- අපි විකල්පයක් ගැන සංවාදයක් ඇති කිරීමේදී රටට ගැලපෙන ආර්ථික ක්‍රමයක් පිළිබඳවත් ගැඹුරින් සාකච්ඡා විය යුතුයි. ඔබ ඒ සම්බන්ධව බොහෝ අවස්ථාවල අදහස් දක්වා තිබුණා. එම කරුණු සැකෙවින් ඉදිරිපත් කළ හැකිද?
අවුරුදු දෙදහසකට අධික කාලයක් තුළ ගොඩනැඟුණු බෞද්ධ සභ්‍යත්වය අපට දායාද කළේ සුබසාධන ආර්ථිකයක්. ඒකෙන් අදහස් වෙන්නේ රටේ ආර්ථිකය බහුතර ජනතාවගේ සුබසාධනය ඉලක්ක කර ගත් එකක් විය යුතු බවයි. මේක ලෝකයේ කිසි තැනක දක්නට නොමැති, ධනවාදී හෝ සමාජවාදී හෝ ලෙස වර්ගීකරණය කළ නොහැකි එකක්. විවෘත වුවත්, සංවෘත වුවත් අවසානයේදී සුබසාධන ආර්ථිකයක්. ඒක තමයි අපේ රටේ මුල් බැසගත් ආර්ථික ක්‍රමවේදය වූයේ. පුරාණ රජ සමයේ තිබුණේ එම ආර්ථික ක්‍රමවේදයයි. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්‍ෂ පාලන කාලවලදී වගේම වෙනත් මෑතකාලීන පාලන කාලවලදී මොන තරම් උත්සාහ කළත් මේ රටේ සියවස් ගණනක් තිබූ සුබසාධන සේවා කප්පාදු කරන්න බැරි වුණේ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව අදටත් රැකිලා තිබෙන්නේ ඒ නිසයි. මෙවැනි සුබසාධන සේවාවක් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යාමට වත්මන් පාලකයන්ට සිදුව ඇත්තේ ඒවා තමන්ට හිමි විය යුතු බව, මිනිසුන්ගේ මනසේ මුල් බැස ඇති දෙයක් නිසයි. පූරාණ රජ දවස වැව් තනලා, කෘෂි කර්මාන්තය සම්පූර්ණයෙන් නග්ගලා එදාට අවශ්‍ය නිෂ්පාදනය සහිතව තමයි, සුබසාධනය පවත්වාගෙන ගියේ. නමුත් බි්‍රතාන්‍යයින්ට යටත් වුණාට පසුව අපට ඒ ආකාරයට රටට අවශ්‍ය නිෂ්පාදනය සහිතව සුබසාධනය පවත්වා ගෙන යාමට බැරි වුණා. දැන් ණය අරගෙන පඩි වැඩි කරන ආකාරයේ සුබසාධනයක් තමයි තිබෙන්නේ. අපි ඉදිරියේදී ගොඩනැගිය යුත්තේ රටට අවශ්‍ය නිෂ්පාදනය සහිත සුබසාධන ආර්ථිකයක්.
මෙතැනදී පෙන්වා දිය යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඉන්දියාවේ අශෝක අධිරාජයා ගොඩනඟපු බෞද්ධ රාජ්‍යය අවුරුදු 200ක් තුළ බිඳ වැටුණා. නමුත් අපේ රටේ බෞද්ධ රාජ්‍යය වසර දෙදහස් ගණනක් මුල් අල්ලලා තිබුණා. ඒකට හේතුව තමයි බුද්ධාගමට මුල් බැස ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් මුලසිටම මේ රටේ පැවතීම. බුද්ධාගම එනකොට මේ රටේ තිබුණා වාපී සභ්‍යත්වයක්. පණ්ඩුකාභය යුගයේ සිටම අපි වැව් තනලා රටේ විශාල වාරි කර්මාන්තයක් ගොඩනඟලා තිබුණා. මේ වාපී සභ්‍යත්වයට අවශ්‍ය දර්ශනය තමයි බෞද්ධ දර්ශනය විසින් ලබා දුන්නේ. ඒ නිසා මේ බෞද්ධ රාජ්‍යය, සුබසාධනවාදය අවුරුදු දෙදහස් ගණනක් මුල් අල්ලලා තිබුණා. එදා වාපී සභ්‍යත්වයක් ගොඩනැගුවාට ඊට අවශ්‍ය දේශපාලන දර්ශනයක් තිබුණේ නැහැ. ඒ වාපී සභ්‍යත්වයට අවශ්‍ය දේශපාලන දර්ශනය ලෙසයි බෞද්ධ දර්ශනය මුල් බැස ගත්තේ.
බටහිර සුබසාධනය කියන්නේ පොහොසත් ඇත්තන් හදවත උණු වෙලා දෙන දෙයකට. නමුත් අපේ සුබසාධනය එහෙම එකක් නොවෙයි. ඒක ආර්ථික ප්‍රතිපත්තියක් විය යුතුයි. ඒ වගේම මිනිසා මුල්කරගත් මේ සුබසාධන ආර්ථිකය නොබිඳී පවත්වා ගෙන යාමට නම් නිෂ්පාදනය ද ඊට සමගාමීව සිදු විය යුතුයි.
සංවාද සටහන: අනුරුද්ධ බණ්ඩාර රණවාරණ