දේශපාලකයන් විනා ජන නායකයන් අපට නෑ - ගුණදාස අමරසේකර කියයි
goonadasa'දැන් රටට මොකද වෙන්නේ...?' යහපාලන ආණ්ඩුව පැමිණ වසරක් ගත වූ පසුව රටේ හැමතැනම නැගුණේ මේ ප්රශ්නයයි. තව මාස 18 ක් තුළ ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු යෙදිය යුතුමය. ඒ සමගම 'ඊළඟට මොකද වෙන්නේ' ප්රශ්නය ජනතාව අසමින් සිටී. මේ පිළිබඳව සමාජ දේශපාලන කතිකාවකට 'දිවයින ඉරිදා සංග්‍රහය' සමග එක්වන්නේ ආචාර්ය ගුණදාස අමරසේකරය.
ප්‍ර. - දෙවැනි සැසි වාරයේදී ජනාධිපතිතුමා කළ රාජාසන කතාව ඔබ නිර්දය ලෙස විවේචනය කර තිබෙනු අපි දුටුවා. ජනාධිපතිතුමා ඒ කතාව කරන්න ඇත්තේ මේ රටේ ඉන්නේ "බත්කන ගොන්නුන් කියා හිතාගෙන යෑයි ඔබ කියා තිබුණා. පාර්ලිමේන්තුවේ "ඕ ලෙවල්" නැති පිරිස අතරේ එවැන්නන් සිටියත් මේ රටේ ඉන්නා වැඩි දෙනකු එවැනි "බත්කන ගොනුන්" නොවන බව ජනාධිපතිතුමා වටහා ගත යුතු යෑයි ඔබ කියා තිබුණා. එවැනි නිර්දය විවේචනයක් කිරීමට ඔබ පෙළඹුණේ කුමන හේතු කාරණා මතද? නැත්නම් කටට ආ පලියටද? ඒ චෝදනාව ඇතැමුන් ඔබට නඟනවා.
උ. - මම එහෙම කටට ආ පළියට කතා කරන්නේ නැහැ. නියත හේතු කාරණා උඩයි මම ප්‍රකාශයක් කරන්නේ...
ප්‍ර. - මොනවද ඒ තියන හේතු කාරණා?
උ. - පළමුවෙන්ම ජනාධිපතිතුමා මේ රජය හඳුන්වා දී තිබුණේ ජාතික රජයක් වශයෙන්. ඒක සම්පූර්ණයෙන්ම ජනතාව මුළා කරන ප්‍රකාශයක්. මේක ජාතික රජයක් නෙවෙයි, පූට්ටු කරන ලද රජයක්. ගැට ගසන ලද රජයක්. ඒ පූට්ටුවත්, එකට ගැට ගැසීමත් කර ඇත්තේ මේ රටේ මිනිසුන්ගේ වුවමනාව උඩ නොව විජාතිකයන්ගේ වුවමනාව උඩ. ඒ විජාතිකයන් විසින්.
ප්‍ර. - ඒක අභියෝගාත්මක ප්‍රකාශයක්?
උ. - අභියෝගාත්මක වුණත් නැතත් සත්‍යය එයයි. ඒ පූට්ටුව සිදු කළේ විජාතික බලවේග විසින්. ඇමරිකාව ප්‍රධාන බටහිර බලවේග සහ ඉන්දියාව විසින්. පසුගියදා ඒ පූට්ටුව ලිහන්න යනකොට ඇමරිකන් තානාපතිත් ඉන්දියානු තානාපතිත් කලබල වී ජනාධිපතිත්, අගමැතිත් හමුවී පූට්ටුව නොලිහන ලෙස තර්ජනය කළ සැටි ඔබ දුටුවා නේද? ඒකෙන්ම පේනව නේද මේ පූට්ටුවේ නිර්මාතෘවරු කවුද කියා. මේ පූට්ටුව විජාතික කුමන්ත්රණයේ ප්‍රතිඵලයක්.
ප්‍ර. - එවැනි පූට්ටුවක් ඇතිකිරීමට ඒ විජාතික බලවේගවලට ඇති අවශ්‍යතාව කුමක්ද? එවැනි කූමන්ත්රණයකින් බලාපොරොත්තු වුණේ කුමක්ද?
උ. ඒක වටහා ගන්න නම් ටිකක් අතීතයට යන්න ඕන. මේ පූට්ටු කුමන්ත්‍රණය ආරම්භ කළේ 2015 ජනාධිපතිවරණයෙන් මාස 18 කට පෙර. මේ කුමන්ත්‍රණය පිළිබඳ විස්තරයක් තිස්ස විතාරණ මන්ත්‍රීතුමා විසින් දීර්ඝ වශයෙන් ඉංග්‍රීසි සිංහල පත්තරවලින් ජනාධිපතිවරණයෙන් අනතුරුව හෙළිකර තිබුණා. මමත් ඒ විස්තර කීපවතාවක් හෙළි කළා. ඒක යළි පුනරුච්චාරණය කිරීම අවශ්‍ය නැහැ. ඒ ක්රමන්ත්රණයෙන් ප්‍රතිඵල දෙකක් ඒ විජාතික බලවේග අපේක්ෂා කළා.
ප්‍ර. - මොකක්ද ඒ අදහස් කළ අරමුණු දෙක?
උ. - එකක් තමයි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරාජය කිරීම. තමන්ට නැටවිය හැකි ජනාධිපතිවරයකු පත්කර ගැනීම. අනික් අරමුණ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ යූ.ඇන්.පි. ය එක්කර තමන්ගේ අපේක්ෂා ඉටුකරන රජයක් පත්කර ගැනීම. ඒ සඳහා තමයි, ජනතාව ප්‍රතික්ෂේප කරපු මන්ත්‍රීවරු හතළිහක් ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුවට පත්කර ගත්තේ.
ප්‍ර. - මේ වගේ කුමන්ත්‍රණයක් කර මහින්ද රාජපක්ෂ බලයෙන් පහකර තමන්ට අභිමත, තමන්ගේ වුවමනා ඉටුකරන රජයක් පත්කර ගැනීමෙන් ඇමරිකාව, යුරෝපය ප්‍රධාන බටහිර බලවේග සහ ඉන්දියාව බලාපොරොත්තු වුණේ කුමක්ද?
උ. - ඒ අරමුණු තවමත් මේ රටේ බහුතර සිංහල ජනතාවට වටහා ගන්නට බැරිවීම තමයි ලොකුම අභාග්‍යය. ඒ නිසා තමයි ඒ බලවේගවලට තාම කියන්නට පුළුවන් වී තිබෙන්නේ මිනීමරු රාජපක්ෂ රජය පෙරළා දැම්මේ ඒකාධිපතිවාදය නැති කිරීමටය, පවුල්වාදය නැති කිරීමටය, දූෂණය නැති කිරීමටය, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටය, සුළු ජාතීන්ට සාධාරණය ඉටු කිරීමටය කියා.
ප්‍ර. - ඒ කියමන්වල කිසියම් ඇත්තක් තියෙනව නේද?
උ. - ඇත්ත කොහොම වෙතත් ඒවා අර දුෂ්ට බලවේගවල නියම අරමුණ ජනතාවගෙන් වසන් කිරීමට හොඳ කඩතුරාවක් වුණා. ඒ කඩතුරාව නිර්මාණය කර ගැනීමට මහින්ද රාජපක්ෂ රජයත් කිසියම් ප්‍රමාණයකට අමුද්‍රව්‍ය සැපයීමට සමත් වුණා. ඒ වගේම ඒ කඩතුරාව පිටුපසින් තියෙන සත්‍යය ඇත්ත අරමුණු හෙළි කිරීමටත් ඒකාබද්ධ විපක්ෂයත් ලොකු උත්සාහයක් ගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කළේ පූට්ටු රජය ඇති කළේ බටහිර විජාතික බලවේගවල සහ ඉන්දියාවේ භූ දේශපාලන අරමුණු (geo-political) ඉෂ්ටකර ගැනීම පිණිස. මේ විජාතික බලවේග "චීන භීතිකාවකින්" පෙළෙනවා. ඉන්දියානු සාගරය තුළ ඇතිවී තිබෙන බල අරගලය තුළත් විජාතික බලවේග දැන් කටයුතු කරන්නේ මාරාවේෂයෙන්ය කිව්වොත් එය නිවැරැදියි. එහිදී අපේ රට ඔවුන්ට ඉතාමත් වැදගත්. චීනයේ හිතවතකු වන මහින්ද රාජපක්ෂ බලයෙන් පහකර ඔවුන්ට පක්ෂපාත නායකයෙක්, රජයක් බිහිකර ගැනීම තුළින් විනා අන් අයුරකින් සිය ආධිපත්‍යය මේ කලාපය තුළ තවදුරටත් පවත්වාගත නොහැකි බව ඔවුන් වටහාගෙන තිබෙනවා. මේක තමයි ඇත්ත. යථාර්ථය. කඩතුරාවෙන් වැසී තිබෙන ඇත්ත. ඒ අරමුණ ආධිපත්‍යය රැක ගැනීමට නම් සංහිඳියාවේ නාමයෙන් මේ රට බෙදා වෙන්කරන්න ඕන. ඔවුන්ට පය ගැසිය හැකි ඔවුන්ට හිතවත් භූමියක්, ඊළාමයක් බිහිකර ගන්න ඕන. මේ පරගැති ජාති ද්‍රෝහී සිරිසේන - වික්‍රමසිංහ රජය ලවා මේ අරමුණ ඉටුකරගත හැකි බවට ඔවුන්ට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ සඳහා ඇති අන්තිම අවස්ථාව මෙය බවත් ඔවුන් දන්නවා. අපේ කරුමය, සිංහල ජාතියේ කරුමය තමයි මේ ඇත්ත දැන ගැනීමට නොහැකි වීම. ඔවුන්ට ඒ සත්‍යය පෙන්වා දෙන පිරිසක්, ජාතික නායකයන් පිරිසක් ඇත්තේ නැහැ. අපිට ඉන්නේ බලලෝභී දේශපාලන පිරිසක්.
ප්‍ර. - ජනාධිපතිතුමා කියා තිබුණු තවත් දෙයක් තමයි මේ "ජාතික රජය" (පූට්ටු රජය) අසාර්ථක වුණේ එවැනි රජයක් පවත්වාගෙන යැමට අවශ්‍ය පරිණතභාවය ඒ රජය තුළ උන් පිරිසට නොතිබුණු නිසාය කියා. මේ ගැන ඔබ හිතන්නේ කුමක්ද?
උ. - සිරිසේන ජනාධිපතිතුමා ඔය වගේ දාර්ශනික මත ප්‍රකාශ කරන්න දක්ෂයි. පරිණතභාවය නොතිබුණේ කාටද කියලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ල බැලුවා නම් එතුමාට පෙනේවි. ප්‍රාදේශීය ඡන්දයට ඔන්න මෙන්න කියා එතුමා හැසිරුණු හැටි, රනිල් වික්‍රමසිංහට සියලු දොස් පවරමින් අසික්කිත ලෙස බැණ වැදුණු සැටි, වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය අවලංගු කළ සැටි මේ රටේ මිනිස්සු දැක්කා. දෙන්නට දෙන්නා එකිනෙකාට දොස් පවරමින් දවල් රණ්ඩු කරමින් රෑට එක්ව සොරකම් කරමින් ගෙන ගිය කුපාඩි සෙල්ලම මේ රටේ මිනිස්සු දැක්කා. මේ රටේ මිනිස්සු නම් සිය පරිණතභාවය හොඳට පෙන්නුම් කළා. මේ පූට්ටු රජය, ජිනීවාවලදී මේ රට බෙදීමට පොරොන්දු වූ සැටි, අතුරුදන් වූ වන්ගේ කාර්යාලය පිහිටුවන්න ඉඩ දුන් සැටි, අපේ රණවිරුවන් දංගෙඩියට යෑවීමට කටයුතු කළ සැටි FCID පත්කර සිය විරුද්ධවාදීන් අල්ලා සිරගෙවල්වල දැම්ම සැටි ජනතාව දැක්කා. ඒ සඳහා අවශ්‍ය පරිණත භාවය ඔවුන්ට තිබුණා. නේස්බි සාමිවරයා යුද්ධයේදී මැරුණු නිවැරැදි ගණන පෙන්වා දුන් පසුවවත් මේ නීච දීන රජයට එය ජිනීවාවලදී ඉදිරිපත් කිරීමට තරම් කොන්දක් තිබුණේ නෑ. මේ රට ජාතිය මේ වගේ පාවාදුන් නීච රජයක් නිදහසින් පසු තිබුණේ නැහැ.
ප්‍ර. - රාජාසන කතාවේදී එතුමා කියා තිබුණා එතුමා 2020 න් පසුත් දේශපාලනයේ රැඳී ඉන්න බව. විශ්‍රාම නොයන බව.
උ. - එතුමා නොකිව්වත් ඒක පසුගිය කාලෙත් එතුමා හැසිරුණු සැටියෙන් පෙන්නුම් කළා. තව අවුරුද්දක් ජනාධිපති පුටුවේ ඉන්න පුළුවන්ද කියලා එතුමා සුප්‍රීම් උසාවියෙන් අහපු හැටි මතකද? මේ සැරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය මඩකලපුවේ තිබ්බේ ඇයි? සංහිඳියාව ඇති කරන්නද? එතුමා දන්නවා පසුගිය සැරේ එතුමා බලයට ගෙන ආවේ උතුර - නැගෙනහිර ඉන්න දෙමළ මුස්ලිම් මිනිස්සු බව. ලබන සැරෙත් දිනන්න නම් ඒ ඡන්ද තමන් ළඟ තියා ගන්න ඕනෙ බව එතුමා දන්නවා. ඒ සඳහා අවශ්‍ය පොරොන්දු දිය යුතු බව එතුමා දන්නවා.
ප්‍ර(- එහිදී ජනාධිපතිතුමා වැදගත් මත දෙකක් ඉදිරිපත් කර තිබුණා නේද?
උ - ඔව්. එතුමා කියා තිබුණා සුළු ජාතීන්ට අසාධාරණකම් සිදුවී ඇති බව අපි පිළිගත යුතුය කියා. ඒ වගේම අපි ත්‍රස්තවාදය පරාද කළාට ත්රස්තවාදයට පිටදුන් දර්ශනය පරාද කර නැතිය කියා.
ප්‍ර(- ඒවා ඔබ පිළිගන්නේ නැත්ද?
උ(-ඒවා තමයි බෙදුම්වාදියොත්, එන්. ජී. ඕ කාරයොත් දිගින් දිගටම කියන්නේ. ඒත් ඒ කිසි කෙනෙක් කියන්නේ නැහැ සිදුවෙච්ච අසාධාරණය මොකක්ද කියා. දෙමළ නායකයෝ නම් දැන් ඒ අසාධාරණ කතාව නවත්තලා. දැන් කියන්නේ තමන්ගේ අභිලාෂ ඉටුකර ගැනීමට සිංහල ජාතිය ඉඩ නොදෙන බවයි. දැන් අසාධාරණ කතාව කියන්නේ අපේ ජනාධිපතිතුමායි. එමනිසා එතුමාට තියෙනවා වගකීමක් ඒ අසාධාරණය මොකක්ද කියා සිංහල ජනතාවට කියා දෙන්න.
ප්‍ර(- ත්‍රස්තවාදය පරාද කළාට ඊට පිටදුන් දර්ශනය පරාද කර නැතිය කියා එතුමා කරන ප්‍රකාශය බැහැර කරන්න පුළුවන්ද?
උ(- මොකක්ද ඒ ත්රස්තවාදයට පිටදුන් දර්ශනය? විග්නේෂ්වරම් මහ ඇමැතිතුමා නම් ඒ වගේ දර්ශනයක් ඉදිරිපත් කර තිබුණා. නිදහස ලැබුණායින් පසු දෙමළ ජන සංහාරයක් තිබුණු බව එතුමා කියා තිබුණා. ප්රභාකරන්ගේ දර්ශනය තමන් පිළිගන්න බවත් ලබන 18 වැනිදා ද කොහෙද ප්රභාකරන්ගේ දර්ශනය ව්‍යාප්ත කිරීම සඳහා සැමරුම් උත්සවයක් පවත්වන බවත් එතුමා කියා තිබුණා. ඒක නම් ත්රස්තවාදයට පිටදුන් දර්ශනය ඒකට ඇති එකම විසඳුම තමයි ඒ දර්ශනය ක්‍රියාවට නැඟීම, දෙමළ ඊළාමය ලබාදීම. ඒක ඉටුකිරීම සඳහා තමයි මේ පූට්ටු රජය බිහිකළේ. සිරිසේන ජනාධිපතිතුමා 2020 න් පසුව දේශපාලනයට එන්නේ ඒ කටයුත්ත ඉටුකරන්න වෙන්න ඕනෙ.
ප්‍ර(- සිරිසේන ජනාධිපතිවරයා සුළු ජාතික ඡන්දවලින් බලයට එන්න හදනවාය කියන චෝදනාව එතුමාට විතරක් නොවෙයි අනිත් පක්ෂවල නායකයන්ටත් එල්ල කරන්න පුළුවන් නේද?
උ( සත්තකින්ම එව්. යූ. ඇන්. පියත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොදුජන පෙරමුණත් මේ සියලු දෙනාම බලයට එන්න හදන්නේ දෙකට බෙදුනු මහ ජාතිය සිංහලයා එක්සත් කර නොව සුළු ජාතීන්ගේ ඡන්ද මගින්. පසුගිය කාලයේ දිගින් දිගට ම සිදුවී ඇත්තේ මෙයයි. අදත් සිදුවන්නේ එයයි.
ප්‍ර(- ඒකට හේතුව මොකක්ද?
උ(- ඒකට ප්‍රධාන හේතුව තමයි මේ රටට, ජාතියට ආදරය කරන, කැපවුණු නායකයන් අපට නැතිවීම. අපිට ඉන්නේ බලයට ඒම පරමාර්ථය කරගත් දේශපාලකයෝ. මේ වෙලේ මට මතක් වෙනවා එස්. එල්. ගුණසේකර මහතා කියපු කියමනක්. "ගමකට ගියාම ඉන්නේ යූ ඇන් පී කාරයෝa සහ ශ්‍රී ලංකා කාරයෝ. සිංහලයෝ නැහැ" ඒක තමයි අද තියෙන තත්ත්වය මේ ව්‍යාජ බෙදීම සඳහා ලේබලුත් ඔවුන් සොයාගෙන තිබෙනවා. එක පක්ෂයක් ධනවාදීයි. අනිත් පක්ෂය සමාජවාදීයි. මේ ලේබල් ඇලවීම බලලෝභී දේශපාලකයන්ට ප්‍රයෝජනයි.
ප්‍ර(- ඔබ කියන්නේ ඔය ධනවාදී සමාජවාදී කියන ලේබල් ව්‍යාජ ලේබල් කියාද?.
උ(- මේක අපි පැහැදිලිව වටහා ගන්න ඕනෙ. හැටගණන්වලදී මේ රටේ හිටිය අදීන සමාජ විද්‍යාඥයකු වන රැල්ප් පීරිස් මහතා ආසියාවේ ඇති සංවර්ධන මාර්ග ගැන පොතක් ලිව්ව. එහිදී එතුමා මේ රටේ පැවැති සංවර්ධන මාර්ගය හැඳින්වූයේ ධනවාදීත් නොවන සමාජවාදීත් නොවන සංවර්ධනයක් ලෙස. එතුමා එය හැඳින්වූයේ 'සුබසාධනය' (welfa retism) කියා. මෙය ලෝකයේ වෙන කිසි රටක දැක්ක නොහැකි ආර්ථික සංවර්ධන මාර්ගයක් බවත් මෙය සුබසාධන රාජ්‍යයක් බවත් එතුමා පෙන්වා දී තිබුණා. අපේ උරුමයන් ඒකය කියා මට හිතනවා.
ප්‍ර(- 77 දී ඡේ. ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය ආරම්භ කිරීමෙන් පසු ඒ තත්ත්වය වෙනස් වුණා නේද?
උ( 77 දී ආර්ථිකය විවෘත කරන්න ඡේ. ආර්. ජයවර්ධන මහතා තැත් කළාට එහෙම ධනවාදී මාර්ගයකට අපි අවතීර්ණ වුණේ නැහැ. සුබසාධනය එලෙසම තිබුණා. කොටින් කියතොත් ජනසතු කරන ලද බොහෝ සංස්ථා පුද්ගලීකරණය කිරීමට එතුමාට පුළුවන් වුණේ නැහැ. අද තියෙන රනිල් වික්‍රමසිංහගේ මේ රජය පහල වනතුරු මෙහි උන් සෑම නායකයෙක්ම අනුගමනය කළේ මූලික වශයෙන් 'සුභසාධන' මාර්ගය.
ප්‍ර(- ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ රජය මෙතෙක් පැවැති සුභසාධන මාර්ගයෙන් පිට යනු ඇති බවද?
උ(- අද තමයි මේ රට නව ලිsබරල්වාදී ධනවාදී මාර්ගයට ගොදුරු කර ඇත්තේ. අද වනවිට මේ රට විජාතික ධනවාදීන්ට විවෘතකර ඇති සැටි පේනවා නේද? අපේ සම්පත් පමණක් නොව භූමියද විජාතිකයන්ට පවරා දෙන තත්ත්වයකට අද පත්වෙලා තියෙනවා. පේනව නේද IMF උපදෙස් පිට සුබසාධනය කප්පාදු කරන හැටි. දිළිඳු රටවල් නව ලිබරල්වාදී ගෝලීයකරණ ධනවාදයට ගොදුරු වනවිට ඇති වන තත්ත්වය මේකයි. අපේ රට නව යටත් විජිතවාදී කොලනියක් බවට සීග්‍රයෙන් පත්වෙමින් තිබෙනවා.
ප්‍ර(- මේකට පිළියමක් නැත්ද?
උ(- ඇයි නැත්තේ... මේ විනාශයට පිළියම් තියෙනව. ඒක අපි දැනගන්න ඕනෙ.
ප්‍ර(- ඔබ ඔය කියන දේ පැහැදිලි කරන්න පුළුවන්ද?
උ(- මේ විජාතික ග්රහණයෙන් රට මුදා ගැනීමට නම් කළ යුතු එකම දෙය තමයි ජාතික විමුක්ති ව්‍යාපාරයක් වහ වහා ආරම්භ කිරීම. මෙතෙක් අප මුළා කළ ධනවාදී සමාජවාදී ව්‍යාජ ලේබල් ඉවත දමා රට, ජාතිය, මේ රටේ සම්පත් භූමිය රැක ගැනීම සඳහා ජාතික විමුක්ති ව්‍යාපාරයක් පටන් ගත යුතුයි. ඒ මගින් තමයි බෙදා වෙන් කොට ඇති මහ ජාතිය එක්සත් කළ හැක්කේ. මහ ජාතිය පමණක් නොව සුළු ජාතික ජනවර්ගද ඔවුන් මෙහෙයවන ජාතිවාදීන්ගෙන් මුදවා මහ ජාතිය වටා එක් කළ හැක්කේ මෙවැනි ජාතික විමුක්ති ව්‍යපාරයකින් පමණයි. අපි අද මුහුණ දෙන මේ විනාශය විසින් මේ සත්‍යය අපට වැටහී යැමට සැලැස්සුවහොත් ඒක ලොකු භාග්‍යයක්. මේ ජාතික විමුක්ති ව්‍යාපාරය මෙහෙයවන්න පුළුවන් ජාතික නායකයන් අප අතර ඉන්නවාද කියන එකයි ප්රශ්නය.
ප්‍ර(- රට මුහුණ දෙන මේ ව්‍යසනයට හේතුව වශයෙන් ඇතැමුන් දකින්නේ දැන් තියෙන මේ විධායක ජනාධිපති ක්‍රමයයි. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ඒ ගැන ලොකු උද්ඝෝෂණයක් කළා. ඔය එන්. ජී. ඕ. කාරයොත් ඒ වගේම ඒ ගැන ලොකු උද්ඝෝෂණ ව්‍යාපාර ගෙනිච්චා. දැන් ඡේ. වී. පිය ඒ කටයුත්ත අතට අරගෙන තියෙනවා. ඒ ගැන ඔබ කියන්නේ කුමක්ද?
උ(- ඒ ගැන මම පුදුම වෙන්නේ නැහැ. ජයම්පති වික්‍රමරත්න ලවා රට බෙදන ව්‍යවස්ථාව ගෙන ඒම ව්‍යර්ථ වූ පසු එය කරවා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ඡේවීපිය ඒ සඳහා යොදවා ගෙන තිබෙනවා. ඒ සඳහා ඡේවීපිය ගහන පෝස්ටර් දැක්කම ඒ සඳහා සම්පත් සපයන්නේ කවුද කියා අපට හිතාගන්න පුළුවන්. විධායකය ඉවත් කළ යුතුය යන උද්ඝෝෂණයක් ඡේවීපිය කරන්නේ විජාතික බලවේගවල, රනිල් වික්‍රමසිංහගේ, බෙදුම්වාදීන්ගේ අරමුණු ඉෂ්ට කර දීමයි. ඒක වසා ගැනීමට ඔවුන් යොදා ගන්නා උප්පරවැට්ටිවලින් ජනතාව රැවටෙන්නේ නැහැ.
ඇත්තවශයෙන් උද්ඝෝෂණ කළ යුත්තේ විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීමට නොව 13 සංශෝධනය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමටයි.
සාකච්ඡා කළේ - එරික් ගාමිණි ජිනප්‍රිය