සාහිත්‍ය ඉතිහාසය අමරසේකර සහ අපි
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මගින් සංවිධානය කළ සාහිත්‍යය සහ ඉතිහාසය නමැති සංවාදයකට සහභාගී වීමට අවස්ථාව ලැබිණි. මැයි මස 2 වන දින එම සංවාදය පැවැත්වූයේ ගමනක මුල කෘතියෙන් ආරම්භ වන ගුණදාස අමරසේකරගේ මහා නවකතා පිළිබඳය. ආචර්ය කුමුදු කුසුම් කුමාර මෙහෙය වූ එම සංවාදයට මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන් සහ ගෙවිඳු කුමාරතුංග සහභාගී විය. වසර කිහිපයකට මා ද සරසවි සිසුවෙකුව සිටි සමයෙහි පැවැත්වූ එක්තරා විචාර මුළුවක් මට මේ මොහොතේ සිහිපත් වෙයි. අමරසේකරගේ නිර්මාණ පිළිබඳ පාළු ගෙයි වළං බිඳීමකට සමකළ යුතු එම විචාරයට මම විරෝධය පළ කළෙමි. ඒ හා සසඳන විට මෙවර සංවාදය වඩා ප්‍රබුද්ධ ශාස්ත්‍රීය සංවාදයක් වූ බව මගේ හැඟීමයි.
අමරසේකර අද අප අතර ජීවත් වන ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යධරයාය. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි දැවැන්තයින් හා සමසුන් ගැන්විය හැකි එකම සාහිත්‍යකරුවාය. අමරසේකර වයසින් මුහුකුරා ගියද තවමත් තරුණයෙක් මෙන් මහත් ජවයෙන් යුතුව සිය සහිත්‍ය සමාජ දේශපාලන භූමිකාවලට පණ පොවයි. නූතන ලංකා සමාජයට ප්‍රබල බලපෑමක් කළ චින්තකයා අමරසේකර බව මගේ අදහසයි. කාලය විසින් ඔහුගේ භූමිකාව අහිංසක මහල්ලාගේ භූමිකාවට ඇද දමා නොමැත. ඔහුගේ සාහිත්‍යමය දේශපාලන යුග මෙහෙවර අනාගතය විසින් අදට වඩා ප්‍රශස්ත ලෙස අගයනු ඇත යන්න මගේ පිළිගැනීමයි.
අමරසේකර නමැති සමාජ දේශපාලන චින්තකයා කෙරෙහි මේ රටේ උගත් ප්‍රජාවේ චින්තන ධාරාව හසුරුවන කණ්ඩායම තුළ ඇත්තේ ප්‍රසාදජනක හැඟීමක් නොවේ. ජාතික චින්තන ධාරාවේ නියමුවෙක් වන අමරසේකර රටේ ඒකීයත්වය වෙනුවෙන් පෙනී සිටියි. එමෙන්ම කලකට පෙර ඔහු ද අනුදත් මාක්ස්වාදය පමණක් නොව ෆෙඩරල්වාදී අදහස් ද දැඩිව විවේචනය කරයි. තම සමාජ දේශපාලන චින්තනයෙහි මතවාදීමය සතුරෙකු කෙරෙහි පෙර කී උගත් ප්‍රජාවෙහි ප්‍රතිචාරය අප පුදුමයට පත් කරන්නක් නොවේ. එහෙත් මේ බොහෝ උගතුන් විසින් අමරසේකර නමැති ලංකාවේ දැනට ජීවත් වන ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යධරයා ඔහුගේ එක් භූමිකාවක් මත තබා විවේචනය කරනු ලැබීම කනගාටුදායක තත්වයකි. අමරසේකරගේ සියලු භූමිකා එකිනෙකට සම්බන්ධ බව ද ඒවා වෙන් නොකළ හැකි බව ද කෙනෙකු පවසනු ඇත. එය සැබෑවකි. එහෙත් බරපතළ කාරණාව ඔහුගේ සාහිත්‍ය භූමිකාව උක්ත දේශපාලන භූමිකාව මත තබා අවප්‍රමාණ කිරීමය.
එවැනි පසුබිමක ආචාර්ය නිර්මාල් රංජිත් ඇතුලු ඉතිහාස අධ්‍යයන අංශය විසින් එම සංවාදය සංවිධානය කිරීම පැසසුමට ලක්විය යුතු කරුණකි. දේශපාලන අදහස් අතින් ගත් විට ඔවුන් දෙදෙනා පරස්පර අදහස් නියෝජනය කරන බව ඇත්තකි. ආචාර්ය නිර්මාල් නිතර සිනාසිසී පවසන පරිදි අමරසේකරට අනුව තමන් NGOකාරයෙකි. මහාචාර්ය සුචරිත ගම්ලත් X කණ්ඩායම දැඩි ලෙස විවේචනයට ලක් කළ ද එය නියෝජනය කරන නිර්මාල් විකල්පයක් බව කීවේය. එය සැබෑවකි. ඔහු නියෝජනය කරන සියලු කණ්ඩායම් තුළ ඔහු විකල්යකි. ආචර්ය නිර්මාල්ගේ දේශපාලන මතවාදය දරන බොහෝ දෙනා මෙන් නොව ඔහු අමරසේකර කියවා තිබේ. ඔහු අමරසේකර නැවත නැවත කියවනු පෙනේ. මම එය බෙහෙවින් අගය කරමි.
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාසගේ දේශනයේ හරය ලෙස ගත හැක්කේ අමරසේකරගේ පැරණි කෘති විශිෂ්ටය. රසවත්ය. නූතන කෘති දේශපාලන සංවාද නිසා නීරසය යන්නය. එය අමරසේකරට කාලයක් තිස්සේ නැඟෙන චෝදනාවකි. එහෙත් මේ විචාරකයින් අමරසේකරගේ නූතන කෘති එලෙස අවප්‍රමාණ කරන්නේ නවකතාව ඔස්සේ දේශපාලනෙ සංවාදයක් ගොඩ නැඟීම නිසා ද නැතහොත් තමන්ට අරුචි දේශපාලන සංවාදයක් ගොඩනැඟීම නිසා ද යන්න ගැටලුවකි. මාර්ටින් වික්‍රමසිංහ සිය තුන් ඈඳුතු නවකතාවල බොහෝ දේශපාලන සංවාද ගොඩනැඟුවේය. මාක්ස්වාදයට නැඹුරු එම සංවාද අමරසේකරගේ නවකතාවල එන සංවාද මෙන් ජීව ගුණයෙන් පිරුණු සංවාද යැයි කිව නොහැකිය. එහෙත් කිසිවෙක් උක්ත දේශපාලන සංවාද නිසා වික්‍රමසිංහගේ කෘති බැහැර කරන්නේ හෝ අවප්‍රමාණ කරන්නේ නැත. එම සංවාද ඔස්සේ මතු වන දේශපාලන අදහස්වලට ඔවුන් තුළ අඩුවැඩි වශයෙන් රචිය එයට හේතුව යැයි සිතමි. අමරසේකර ද පෙර කී උගත් සංවාද කවවල රුචියට සරිලන දේශපාලන සංවාදයක් එනම් ෆෙඩරල්වාදය, සිවිල් සාමය පිළිබඳ අදහස් සිය කෘති ඔස්සේ කරළියට ගෙන ආවේ නම් අමරසේකර ඔවුන්ගේ වීරයා වනු නියතය.
ආචාර්ය නිර්මාල් සිය කතාව ඔස්සේ දිගින් දිගට ම මතු කළ කාරණාවක් වූයේ නවකතාවේ එන ඇතැම් සිදුවීම් ඉතිහාසයේ ඒවා සිදුවූ යුගයට පරස්පර තැන්වල ස්ථාගත ගත කර ඇති බවය. 1970 ගණන්වල ගණනාථ ඔබේසේකර සාකච්ඡා කළ ඇතැම් සංකල්ප 1955 පමණ පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙහි සාකච්ඡාවට බඳුන්වීම ඔහු නිදසුන් ලෙස දැක්වූයේය. මේ තර්කයෙහි වටිනාකමක් ඇත්තේ සාහිත්‍යයෙන් පරිබාහිර ශාස්ත්‍රීය ලේඛන විෂයෙහි බව මගේ අදහසයි. කිසියම් ඉතිහාස කෘතියක එවන් විග්‍රහයක් සිදුවී ඇත්නම් එය දෝෂයකි. එහෙත් සාහිත්‍ය වනාහි යථාර්ථය සහ පරිකල්පන ලෝකය එකට මුසු වන තැනකි. සාහිත්‍යකරුවාගේ කාර්යභාරය ඉතිහාසඥයාගේ කාර්යභාරයෙන් වෙනස් වූවකි. කොටින්ම සාහිත්‍යකරුවාගේ කාර්ය ඉතිහාසය ලිවීම නොවේ. එය සැබෑ යථාර්ථය සහ පරිකල්පනය පදනම් කරගෙන කරනු ලබන ප්‍රතිනිර්මාණයකි.
අමරසේකර රටේ අධිපතිවාදී චින්තන ධාරාව නියෝජනය කරන බව ආචාර්ය නිර්මාල් මෙහිදී ප්‍රකාශ කළේය. ඔහු රටේ යනුවෙන් අදහස් කළේ ලංකාවේ උගත් ප්‍රජාව අතහැර බව මගේ අදහසයි. ඔවුන් බොහෝ දෙනා අමරසේකර විශිෂ්ට බුද්ධිමතෙක්, චින්තකයෙක් ලෙස තබා විශිෂ්ට සාහිත්‍යධරයෙක් ලෙස හෝ නොසලකන බව මගේ වැටහීමයි. නිර්මාල්ගේ ප්‍රකාශයෙහි නූතන අර්ථයෙන් කිසියම් සත්‍යයක් තිබේ. එහෙත් අමරසේකර සිය භූමිකාව සමඟ ගතකළ කාලය සලකා බලන විට ඔහුගේ ගමන් මග වැටී ඇත්තේ ඊට සපුරා වෙනස් මතවාද ආධිපත්‍ය දැරූ ජේ. ආර්., පේමදාස, චන්ද්‍රිකා ආණ්ඩු සමඟ බව පැහැදිලි වේ. එහි කිසියම් වෙනසක් සිදුවූයේ 2005 දීය. එය එක්තරා ආකාරයක අමරසේකරලා ගෙන ගිය සටනේ සන්ධිස්ථානයක් වුව ද ජයග්‍රහනයක් නොවේ. ත්‍රස්තවාදය නිම කිරීම හැරුණු විට වත්මන් ආණ්ඩුව සමඟ අමරසේකරට එකඟ විය හැකි කිසිවක් ඇතැයි මම නොසිතමි. වඩා හොඳ විකල්පයක් නොමැති පසුබිමක ඔවුන්ට මුනිවත රැකීමට සිදුව තිබේ. අමරසේකර රටේ අධිපතිවාදී චින්තන ධාරාව නියෝජනය කරන බව ආචාර්ය නිර්මාල් පවසන විට එයින් ගම්‍ය වන්නේ මේ ආණ්ඩුව ජාතික චින්තනය පදනම් කරගත් ගමනක් යන බවකි. එහෙත් සැබෑවට සිදුවනුයේ ආණ්ඩුව සිය විලිවසා ගැනීමට පිරුවටයක් ලෙස ජාතික චින්තනය භාවිත කිරීම පමණි.
අමරසේකර සිය කෘති ඔස්සේ සිංහල බෞද්ධ ජාතිකත්වය පදනම් කරගත් සමාජ ක්‍රමයක් ඉල්ලා සිටින අතර ආදරය, ලිංගිකත්වය, වියෝව වැනි නූතනවාදී දෑ සිය නිර්මාණවලට පසුබිම් කර ගැනීම පරස්පර බව ආචාර්ය කුමුදු කුසුම් ප්‍රකාශ කළේය. එහි අර්ථය ආදරය, ලිංගිකත්වය, වියෝව නූතනවාදී බව ද? ඒවා කලා කෘතිවලට ඇතුළත් වීම නූතනවාදයේ ලක්ෂණයක් බව ද? සිංහල බෞද්ධ සමාජය ලිංගිකත්වය, ආදරය ප්‍රතික්‍ෂේප කළ අරහත් සමාජයක් බව ද? අද අප ජීවත් වන්නේ වික්ටෝරියානු සුචරිතවාදයට ගොදුරු වී විකෘති වූ සමාජ පසුබිමක බවත් එම විකෘති ලක්ෂණවලට සිංහල බෞද්ධ සංස්කෘතිය යැයි කිව නොහැකි බවත් ඔහු අමතක කරයි. මේ රටේ වසර සිය දහස් ගණනක් තිස්සේ පැවතියේ ලිංගිකත්වය වන්දනාමාන කොට ලිංගික කුහකයින් බිහි කරන සමාජ ක්‍රමයක් නොවේ. ලිංගිකත්වය ඔවුන්ට ජීවිතයේ තවත් එක් දෙයක් පමණක් විය. සීගිරි සිතුවම් සහ පද්‍ය, ජන කවි, ඉසුරුමුණි කැටයම් ඒ නිවහල් චින්තනයේ ලකුණු නොවෙද? තිවංක පිළිම ගෙයි ආසංඛවතී ජාතකයේ සිතුවම් ඒ සඳහා නිදසුන් නොවෙද? ඒ අනුව ගත් කල ආදරය, ලිංගිකත්වය පිළිබඳ කතා කිරීම නූතනවාදී ලක්ෂණය කැයි කිව හැකි ද? අනෙක් අතට අද අප ජීවත් වන්නේ බෞද්ධ සංස්කෘතික පදනමක් මත වුව ද අද බ්‍රිතාන්‍යයන් පවා ප්‍රතික්ෂේප කරන, ඔවුන් විසින්ම අප රටට හඳුන්වා දුන් පසුගාමි අදහස් පිරුණු සමාජ පසුබිමකය.
ගෙවිඳු කුමාරතුංග හුදු පොත් ප්‍රකාශන භූමිකාවට එහා ගිය ශාස්ත්‍රීය භූමිකාවක් නිරූපනය කරයි. ඔහුට සිය ප්‍රකාශන ඔස්සේ එලිදකින මතවාද පිළිබඳ අවබෝධයක් තිබේ. ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටියි. සාහිත්‍ය පිළිබඳ ඇකඩමීය අධ්‍යාපනයක් නොලැබුව ද ඔහුට ඉහළ රසඥතාවක් සහ විචාර ශක්‍යතාවක් තිබේ. ඔහු දරන ඇතැම් අදහස්වලට මා එකඟ නොවුව ද එම විචාර අදහස් ලේඛනගත නොවීම එක්තරා ආකාරයක අවාසනාවන්ත තත්වයකි. ඇතැම් සාහිත්‍ය සංකල්ප ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලද විචාරකයින්ට වඩා තියුණු ලෙස අවබෝධ කර ගැනීමට ද සියුම් ලෙස විග්‍රහ කිරීමට ද ගුණදාස අමරසේකර, එරික් ඉලයප්ආරච්චි වැනි විචාරකයින් සමත් වන්නේ කෙසේද යන්න වෙනම විග්‍රහ කළ යුතු මානයකි.
ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන්ගේ සිය කතාව ඔස්සේ අමරසේකරගේ නිර්මාණ කෘතිවලට බලපෑ සමාජ ඓතිහාසික කරුණු විග්‍රහයකට යොමු විය. මා මේ සංවාදය පිළිබඳ වඩාත් උද්දාමයට පත් වන්නේ ඔහුගේ සහභාගීත්වය සහ ඔහුගේ අදහස් දැක්වීම පිළිබඳවය. ආචාර්ය ජෙගනාදන් අමරසේකරගේ කෘති ඉතා විචාරශීලි ලෙස කියවා ඇති බව ඔහුගේ විග්‍රහයෙන් පසක් විය. ඉතිහාසයේ සිදුවූ අමිහිරි සිදුවීම් නිසා පළුදු වූ උතුරු - දකුණු සබඳතාව යළි ස්ථාපිත කිරීම සඳහා කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි. අපේ උගතුන්ගේ වගකීම ජාතියට වැරදුනු තැන්වල කුඩාරම් ගසා ගෙන බෙදුම්වාදය පෝෂණය කිරීම නොව නැවත එකිනෙකා ළං කිරීමට මං තැනීමය. ඒ සඳහා සමාජ සංවාදයක් ගොඩනැඟීමය. ඒ අර්ථයෙන් ආචාර්ය ප්‍රදීප්ගේ සහභාගීත්වය ම මම අගය කොට සලකමි.
මා විශ්වාස කරන පරිදි සිංහලයා ආර්ය මූලයකින් පැවත ආවද නූතනයෙහි එහි ඇත්තේ ජානමය සම්බන්ධයකට එහා ගිය පොදු චින්තමය සංස්කෘතිකමය සම්බන්ධයකි. නූතන සිංහලයා උතුරු ඉන්දිය, දකුණු ඉන්දිය පමණක් නොව යුරෝපීය, අප්‍රිකානු මිනිසුන් ජානවල සම්මිශ්‍රණයකි. විදෙස්ලින් පැමිණි බොහෝ ජන කණ්ඩායම් පරම්පරා දෙකක් තුළ ප්‍රධාන ජාතිය සමඟ මුසු විය. ඔවුන් සිංහලයින් බවට පත්වන්නේ රටේ පවතින සංස්කෘතියට ගරු කරමින් එහි කොටස්කරුවන් වීම නිසාය. මේ රටේ සංස්කෘතිය තුළ ජීවත්වීම නිසාය. උප්පැන්න ඔස්සේ ජාතීන් වර්ග කිරීම ආරම්භ වන තුරු එම තත්වය පැවතියේ ය. රටට අවශ්‍ය වන්නේ උක්ත ඊනියා ජානමය සම්බන්ධය වෙනුවට පොදු සංස්කෘතික විඥානය පදනම් කරගත් ජාතික චින්තනයකි. එම පොදු සංස්කෘතික විඥානයට ගරු කරන සියලු දෙනා ඇතුළත් කරගත හැකි වන පරිදි ජාතික චින්තන මතවාදය පුළුල් විය යුතුය.
රටේ හින්දු ජනතාව නැවත මධ්‍ය ලක්ෂ්‍යය වෙත ආකර්ශනය කර ගැනීම සඳහා ඔවුන්ට රටේ ප්‍රධාන තනතුරු ලබාදීම සඳහා මතවාදීමය වශයෙන් පෙනී සිටිම අප සැමගේ වගකීමයි. රටේ සංස්කෘතික පදනම ආරක්ෂා කරන හින්දුවරයෙකු ජනාධිපති ධුරයට පත් කිරීමට කිසිවෙකු බිය විය යුතු නැත. අපේ ඉතිහාසයේ එවන් අවස්ථා දක්නට ලැබේ. නූතන ජාතිකවාදීන් මේ තත්වය අවබෝධ කරගෙන ඇත්තේ අඩුවෙනි. ඒ ඔස්සේ අවිඥානිකව ඔවුන් ඉටු කරන්නේ ද ෆෙඩරල්වාදීන්ගේ අවශ්‍යතාවය. එනම් හින්දු ජනතාව බෙදුම්වාදය වෙත දැක්කීමය. රටේ ප්‍රධාන ජන කොටස් දෙක එනම් බෞද්ධ හින්දු දෙපිරිස එක් කළ හැකි නම් සෙසු පිරිස් ඒකරාශි කිරීම අපහසු කරුණක් නොවේ. නූතන සමාජ දේශපාලන පසුබිම විසින් චින්තකයින්ගෙන් ද සාහිත්‍යකරුවන්ගෙන් ද උගතුන්ගෙන් ද ඉල්ලා සිටිනුයේ එම යුග මෙහෙවර බව මගේ විශ්වාසයයි.